General16 June 2026

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩ අරඹයි!

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීම් ලැබූ වෛද්‍ය පරිපාලනය පිළිබඳ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර ඊයේ (15) ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කරන කළා.

මෙම තනතුරට පත් වූ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මීට පෙර බදුල්ල, රත්නපුර, පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල, පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල, මහරගම අපේක්ෂා රෝහල යන ආයතනවල අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙක්.

දීර්ඝ කාලයකට පසු ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරය ඇතුළු බොහෝමයක් තනතුරු සඳහා ස්ථිර නිලධාරියකු පත් කරනු ලැබීම විශේෂත්වයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වීමෙන් පසු පැවති උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, රුපියල් මිලියන 12,000ක පිරිවැයක් වැය කරමින් අති නවීන පහසුකම්වලින් සමන්විත මහල් 16කින් යුත් දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ජාතික රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපිත කරන බවයි.

මෙහි ඉදිකිරීම් කටයුතු මෙම වර්ෂයේදීම ආරම්භ කර වසර තුනක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම නව මධ්‍යස්ථානය ඉදිකිරීම් අවසන් කර ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමේ සුවිශේෂී වගකීම නව රෝහල් අධ්‍යක්ෂවරයාට පැවරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes