General16 June 2026

BOAT House සමූපකාර සමිති නිලවරණයෙන් මාලිමාව පරදී

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අතිවිශිෂ්ට ජනවරමක්

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිතියේ (BOAT House) නිලවරණයේදී, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අතිවිශාල බහුතර සහයෝගය ලබා ගනිමින් පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම තීරණාත්මක ජයග්‍රහණයක් අත්කර ගත් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවා.

මෙම නිලවරණය ඉකුත් (13) වැනිදා මහනුවරදී පැවැති අතර, එහි සමස්ථ ප්‍රතිඵලය ඊයේ (15) දිනයේදී නිකුත් වූ බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ.

මෙම නිලවරණය සඳහා නලින්ද ජයතිස්ස සහ හංසක විජයමුණි යන අමාත්‍යවරුන්ගේ දේශපාලන අනුග්‍රහය සහිත කණ්ඩායමක් ඉදිරිපත් කරමින්, ආණ්ඩුවේ බලපෑමට යටත් කර ගැනීමේ උත්සාහයක් කළත් එය ව්‍යර්ත කිරීමට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකි වූ බවයි හෙතෙම සඳහන් කළේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල්වලින් ගොඩනැගී ඇති මෙම සමිතිය සතුව සැලකිය යුතු වත්කම් සහ තැන්පතු ප්‍රමාණයක් පවතින බැවින්, එය අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය බලය සහ ජවිපේ වෘත්තීය සමිති ජාලයන් යොදා ගනිමින් දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බවද ඔහු පැවසුවා.

එසේම, මෙම නිලවරණය ආණ්ඩුවට වාසිදායක අයුරින් පැවැත්වීමේ අරමුණින් අවස්ථා තුනකදී එය කල් දැමීමට කටයුතු කරනු ලැබුයේ ආණ්ඩුවේ බලතල භාවිත කරමින් බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, සියලු බලපෑම් සහ මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සිය තීරණය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ඔහු පැවසුවා.

නිලවරණ ප්‍රතිඵල අනුව, සභාපති තනතුර සඳහා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම ඡන්ද 4,650 (81.8%)ක්ද, උප සභාපති තනතුර සඳහා ඡන්ද 4,648 (81.9%)ක්ද, භාණ්ඩාගාරික තනතුර සඳහා ඡන්ද 4,412 (81.0%) ක්ද වශයෙන් ලබා ගෙන ජයග්‍රහණය කර ඇති අතර, ආණ්ඩුවට අනුබද්ධ කණ්ඩායමට හිමිව ඇත්තේ 18% - 19% අතර පමණක් බවද ඔහු සඳහන් කළා.

මෙම ප්‍රතිඵලය හුදෙක් සමූපකාර සමිතියක නිලවරණ ජයග්‍රහණයක් නොව, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තමන්ගේ ආයතනික ස්වාධීනත්වය, වෘත්තීය ගරුත්වය සහ සාමාජික අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලබා දුන් ප්‍රබල ජනවරමක් බවයි හෙතෙම පැවසුවේ.

සෞඛ්‍ය සේවකයන්ගේ දේපළ සහ අරමුදල් කිසිදු දේශපාලන පක්ෂයක හෝ ආණ්ඩුවක පාලනයට යටත් කිරීමට ඉඩ නොදෙන බවට මෙම ඡන්ද ප්‍රතිඵලය පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇති බවද රවී කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes