General16 June 2026

පාකිස්ථානයේ ළමා මෙහෙකාර සේවය වැළැක්වීමේ නීති ක්‍රියාත්මක වීම සතුටුදායක මට්ටමක නෑ - සෑම නිවාස හතරකින්ම එකක ළමා සේවකයන්!

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරය තුළ ළමා මෙහෙකාර සේවයට අදාළව 2020 වසරේ සිටම නීති සම්පාදනය කර තිබුණද, ඒවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කිසිසේත්ම සතුටුදායක නොවන බවත්, තවමත් සෑම නිවාස හතරකින්ම එකක ළමා මෙහෙකාර සේවකයන් යොදවාගෙන ඇති බවත් අනාවරණ වී ඇතැයි එරට ජනමාධ්‍ය වාර්තා කරයනවා.

ළමා අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ (SPARC) විධායක අධ්‍යක්ෂිකා ආසියා අරිෆ් මේ බව අනාවරණ කර තිබෙනවා.

ඒ, 2026 ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය නිමිත්තෙන්, "ළමා ශ්‍රමයට රතු කාඩ්පතක්: දරුවන්ට සාධාරණත්වයක්, වැඩිහිටියන්ට ගරුකටයුතු රැකියා" යන ගෝලීය තේමාව යටතේ පැවැති විශේෂ උත්සවයකදීයි.

මෙම වැඩසටහන ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික කොමිෂන් සභාව සහ SPARC සංවිධානය ඒකාබද්ධව සංවිධානය කර තිබුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, ළමා ශ්‍රමයට එරෙහිව සමස්ත සමාජයම එක්ව "රතු කාඩ්පතක්" ඔසවා තැබිය යුතු කාලය එළඹ ඇති බව අවධාරණය කර සිටියා.

එමෙන්ම නිෂ්පාදන සැපයුම් දාම, හෝටල්, මෝටර් රථ අලුත්වැඩියා මධ්‍යස්ථාන සහ ගඩොල් කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පවතින ළමා ශ්‍රම සූරාකෑම පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවද ඇය පෙන්වා දුන්නා.

තිරසාර සංවර්ධන අරමුණු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තියට අනුකූලව, ශක්තිමත් නීතිමය යාන්ත්‍රණයන්, පුළුල් සමාජ ආරක්ෂණයන් සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම තුළින් ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා ඒකාබද්ධ හා අඛණ්ඩ උත්සාහයක නිරත විය යුතු බව ඇය අවධාරණය කර සිටියා.

ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලට අනුව, මේ වන විට දරුවන් මිලියන 26.2කට අධ්‍යාපනය අහිමි වී (පාසල්වලින් බැහැරව) ඇති බවද ඇය මෙහිදී සිහිපත් කර සිටියා.
Related recommendation
Hiru TV News | Programmes