General17 June 2026

යෝෂිතට ඇප - රට ගමන් තහනම්

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට ඇතුළත් වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (17) නියෝග කළා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයට නියම කළා.

අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග නිකුත් කෙරුණා.

ඉකුත් 2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය හට නිලධාරීන් බඳවා ගැනීමේ දී, බඳවා ගැනීම සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව, විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් බැඳීම සහ එතෙක් පැවති ක්‍රමවේදයට පරිභාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගිවීමට අවස්ථාව සලසා ගැනීම තුළින් ‘දූෂණය” වරදට ආධාර අනුබල දීම යන චෝදනාව මත නාවික හමුදාවේ හිටපු නාවික හමුදා නිලධාරියෙකු වූ යෝෂිත කණිෂ්ක රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

එවකට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනා විසින් කරන ලද කුමන්ත්‍රණයක් මත සති 2ක් ඇතුළත රජයට හැට දෙලක්ෂ අසු එක්දාහස් හාරදාස් දෙසිය දහසයක පාඩුවක් කරමින් බ්‍රිතාන්‍ය රාජකිය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවට සුදුසුකම් නොමැතිව මෙම සැකකරු සහභාගී වී ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes