General17 June 2026

කොටගල මංගල සාදයක ගැටුමක් සමතයට ගිය OIC ඇතුළු නිලධාරීන්ට පහරදීමක්; 6ක් කොටු

හැටන් කොටගල නගරයේ විවාහ උත්සව ශාලාවකදී අද (17) පස්වරුවේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් වැළැක්වීමට ගිය දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල වූ පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කොටගල නගරයේ පිහිටි උත්සව ශාලාවක අද දින විවාහ උත්සවයක් පවත්වා තිබෙනවා.

එහිදී එම විවාහ උත්සවයට පැමිණ බීමත්ව සිටි දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබුණා.

එම අවස්ථාවේදී ගැටුම සමතයකට පත් කිරීමට මුලින්ම රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොස් ඇති අතර, එහි සිටි දෙපිරිසම එකතු වී එම නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදු කර ඇතැයි පොලිසිය පවසනවා.

පසුව එම පොලිස් නිලධාරීන් බේරා ගැනීම සඳහා දිඹුල පතන පොලිසිය ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර, කුපිත වූ පිරිස එම නිලධාරීන්ට ද පහර දී ඇතැයි වාර්තා වෙනවා.

එහිදී පහරදීමට සම්බන්ධ වූ සැකකරුවන් තිදෙනෙකු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට දිඹුල පතන පොලිසිය පියවර ගෙන තිබුණා.

මේ අතර, පොලිස් නිලධාරීන්ට පහර දෙන අයුරු දුටු කොටගල නගරයේ ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී, පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අල්ලා දිඹුල පතන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ ගැටුමට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් තිදෙනෙක් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොටගල නගරයේ ඇති වූ මෙම නොසන්සුන්කාරී ගැටුමත් සමඟ නගරය පුරා දැඩි රථවාහන තදබදයක් පැවති අතර, තත්ත්වය පාලනය කර කොටගල නගරයේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා තලවකැලේ, ළිඳුල සහ නානුඔය යන පොලිස් ස්ථාන මගින් අමතර පොලිස් බලඇණි ද කැඳවීමට කටයුතු කෙරුණි.
Related recommendation
Hiru TV News | Programmes