General17 June 2026

''ප්‍රමාදවූ යුක්තිය වේදනාකාරීයි'' සලෙගේ බිරිඳ රඳගුරු මණ්ඩලයට ලියයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික රදගුරු මණ්ඩලයේ සියලු‍ම රදගුරුතුමන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එමගින් දන්වා ඇත්තේ සාධාරණත්වයේ මූලධර්මය මත පිහිටා පෙනී සිටිමින් තමන්ට සහය වන ලෙසටයි.

එම ලිපියෙහි සඳහන්ව තිබුණේ මෙවැනි අදහසක්.

''විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාගේ බිරිඳ ලෙස මම අතිශය ගෞරවයෙන් හා යටහත් පහත්භාවයෙන් යුතුව ඔබ වහන්සේලා වෙත මෙම ලිපිය ලියා එවනවා. කිසිදු අධිකරණයකින් මගේ සැමියා වැරදිකරුවෙකු හෝ නිවැරදිකරුවෙකු බවට තීරණය කිරීමටත් පෙර, ඔහුගේ කීර්තිනාමය, ගෞරවය සහ අභිමානය ප්‍රසිද්ධියේ විනාශ වෙමින් පවතින අතර, අපේ පවුල අසරණව බලා සිටින මෙවන් මොහොතක, ඔහු විඳින දැඩි ශාරීරික, මානසික සහ චිත්තවේගීය පීඩාවන් හමුවේ ඔබ වහන්සේලාගේ මැදිහත්වීම මම ප්‍රාර්ථනා කරනවා

මගේ සැමියා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා ශ්‍රී ලංකාවේ සිටින ඉහළම ඇගයීමට ලක්වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්. වසර තිස්පහකට අධික ඔහුගේ විශිෂ්ට හමුදා සේවය තුළ, ඔහු දේශය වෙනුවෙන් දැක්වූ කැපවීම, නායකත්වය සහ සේවය අගය කරමින් වීරත්වයේ, සටන් පෙරමුණු සහ දිගුකාලීන සේවා පදක්කම් රැසක් ලබා තිබෙනවා.

ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාම, විශේෂයෙන්ම ඔහුගේ ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ කාල සීමාවන්හිදී, ඔහු කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට නොව, රාජ්‍යයට සහ එහි ජනතාවට නොසැලෙන පක්ෂපාතීත්වයක් පෙන්වමින්, දේශපාලන අනුබද්ධතාවලින් තොරව ශ්‍රී ලංකාවේ එකදිගට පත් වූ ජනාධිපතිවරුන් පස්දෙනෙකු යටතේ විශ්වාසවන්තව සේවය කළා.

ඔහු තම ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කළේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන්. ඔහුගේ සේවා කාලය තුළ කිසිදු දිනක ඔහු විනය විරෝධී ක්‍රියාවකට වැරදිකරු වී හෝ කිසිදු අපරාධ වරදකට දඬුවම් ලබා නැහැ

කෙසේ වෙතත්, අද වන විට ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින්නේ සිදුවෙමින් පවතින පරීක්ෂණයක සැකකරුවෙකු ලෙස පමණයි. ඔහු කිසිදු වරදකට වරදකරු කර නොමැති අතර, කිසිදු අධිකරණයක් මඟින් ඔහු වැරදිකරුවෙකු බවට පත් කර නැහැ.

අධිකරණ ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් පවතනවා. එහෙත් මෙම මූලික යථාර්ථය නොසලකා හරිමින්, බොහෝ දෙනෙකුගේ මනස් තුළ ඔහු දැනටමත් වැරදිකරුවෙකු කර අවසන්.

සෑම පුද්ගලයෙකුම වරදකරු බව ඔප්පු වන තෙක් ඔහු නිවැරදිකරුවෙකු ලෙස සැලකිය යුතුය යන මූලධර්මය හුදු නීතිමය මූලධර්මයක් පමණක් නොවේ.

කණගාටුවට කරුණ නම්, මෙම මූලධර්මය අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබීමයි. කිසිදු අධිකරණ තීන්දුවක් ලබා දීමට බොහෝ කලකට පෙර මගේ සැමියාට ප්‍රසිද්ධියේ දඬුවම් පමුණුවමින් සිටිනවා.

ගරුතර රදගුරුතුමනි, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වසර කිහිපයක් තිස්සේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව, ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඇතුළු ආයතනවල සහය ඇතිව පවත්වන ලද විවිධ විමර්ශනවලදී මගේ සැමියා කිසිදු අවස්ථාවක සැකකරුවෙකු ලෙස හඳුනාගෙන තිබුණේ නැහැ.

මෙම විමර්ශන පැවතියද, සහ ඔහුට එරෙහිව කිසිදු අධිකරණ තීන්දුවක් නොමැති වුවද, අද වන විට ඔහු අපේ රටේ ඉතිහාසයේ සිදු වූ අඳුරුතම ඛේදවාචකයක ප්‍රධාන සැලසුම්කරු හෙවත් ”‍මහමොළකරු”‍ ලෙස ප්‍රසිද්ධියේ නිරූපණය කෙරෙනවා.

මෙයින් අපේ පවුලට සිදු වී ඇති දුක් ගැහැට අප්‍රමාණයි. ගරු ජූඩ් රොහාන් සිල්වා පියතුමා සහ ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරනු ලබන මගේ සැමියාට එරෙහි වත්මන් මහජන මතය පිළිබඳව අපේ දැඩි කණගාටුව ඔබ වහන්සේලාගේ අවධානයට යොමු කරන්නේ බලවත් කණගාටුවකින්.

දීර්ඝ කාලයක සිට මෙම පියතුමන්ලා ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශ මඟින්, අධිකරණ ක්‍රියාදාමයන් සිදුවෙමින් පවතින අතරතුර සහ කිසිදු අධිකරණයක් මඟින් ඔහු වැරදිකරුවෙකු කර නොමැති පසුබිමක, මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ”‍මහමොළකරු”‍ යන මතය ඉදිරිපත් කර තිබෙනවා.

මෙම විමර්ශන ක්‍රියාවලියේ සාක්ෂිකරුවන් වන සහ එම නිසාම විමර්ශනය වන කරුණට සමීප සබඳතාවක් ඇති පුද්ගලයන්ගෙන්ම මෙවැනි මහජන අදහස් ප්‍රකාශ වීම විශේෂයෙන්ම කණගාටුවට කරුණක්.

පාස්කු ඉරිදා ඛේදවාචකය සම්බන්ධයෙන් තමන්ගේම හැසිරීම ප්‍රශ්න කර ඇති නිලධාරීන්, එම සිදුවීම්වලින්ම පැන නගින විමර්ශනයක් මෙහෙයවීම, අධීක්ෂණය කිරීම හෝ එයට බලපෑම් කිරීම අතිශයින්ම කණගාටුදායකයි.

මීටත් වඩා සිත් රිදවන කරුණ නම්, මගේ සැමියා රජයේ අත්අඩංගුවේ පසුවන විට ඔහුට සිදුවූ බව කියන සැලකීමයි. ඔහු වධහිංසාවලට සහ වෙනත් කුරිරු, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ උපදෙස් ලේඛක මනෝ වෛද්‍යවරුන් විසින් වධහිංසා සහ අනිසි සැලකීම්වලට අනුකූල වන බරපතල මානසික කැලඹීම් හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා.

සාධාරණ සහ අපක්ෂපාතී නඩු විභාගයකින් පසු අධිකරණය මගේ සැමියා වැරදිකරු බව තීරණය කරන්නේ නම්, අපි එම තීන්දුව ගෞරවයෙන් පිළිගනිමු.

කෙසේ වෙතත්, අධිකරණය ඔහු නිවැරදිකරු බව තීරණය කරන්නේ නම්, නොකඩවා සිදු වූ මහජන හෙළා දැකීම හේතුවෙන් අහිමි වූ වසර ගණනාවක නින්දාව, ඔහුගේ කීර්තිනාමය විනාශ වීම, ඔහුගේ බිරිඳ, දරුවන්, වයෝවෘද්ධ මව සහ පවුලේ අයට සිදු වූ චිත්තවේගීය දුක් වේදනා හෝ දැනටමත් ඔහුගෙන් උදුරාගෙන ඇති ජීවිතය කිසිදු තීන්දුවකින් නැවත ලබා දිය නොහැක. ප්‍රමාද වූ යුක්තිය වේදනාකාරී ය.

ගරුතර රදගුරුතුමනි, අපගේ පවුලට ගැඹුරු කතෝලික මුල් පවතී. මගේ සැමියාගේ ආදරණීය මව, තම ජීවිත කාලය පුරාම සභාවේ ඉගැන්වීම්වලට අනුව විශ්වාසවන්තව ජීවත් වූ දේවභක්තික කතෝලික කාන්තාවකි. ඇය තම දරුවන් ඇති දැඩි කළේ අවංකකම, දයාව, නිහතමානීකම, සමාව දීම සහ අසල්වැසියාට ප්‍රේම කිරීම වැනි ක්‍රිස්තියානි සන්ථෘෂ්ටීන් මතිනි.

එබැවින් අපි සභාව දෙස බලන්නේ ක්‍රෝධයෙන් නොව, බලාපොරොත්තුවෙනි. කතෝලික සභාව සැමවිටම හෘද සාක්ෂියේ හඬ, යුක්තියේ ආරක්ෂකයා සහ මානව ගෞරවයේ සුරැකුම්කරු ලෙස පෙනී සිට ඇත. අධිකරණ ක්‍රියාදාමයන් අවසන් වීමට පෙර මගේ සැමියා ප්‍රධාන සැලසුම්කරු ලෙස හඳුනා ගනිමින් අඛණ්ඩව කරනු ලබන ප්‍රසිද්ධ ප්‍රකාශ, යුක්තිය, සත්‍යය, පරිත්‍යාගය, දයාව සහ නිවැරදිකරුවෙකු ලෙස සැලකීමේ මූලධර්මය කෙරෙහි සභාව දක්වන නොසැලෙන කැපවීමට අනුකූල වේද යන්න පිළිබඳව සලකා බලන ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ එඬේරුන් ලෙස ඔබ වහන්සේලාගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි.''

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හමුවීම සඳහා එතුමාගේ නීතිඥයන්ට අවසර ලබා දෙන ලෙස මනෝරි සලේ විසින් සිදු කරන ලද ඉල්ලීම ප්‍රකාරව අද ප්‍රථම වරට ඒ සඳහා අවස්ථාව සැලසුණා

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගොස් සුරේෂ් සලේගේ නීතීඥවරයා සලේව හමු වී තිබුණා.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශිත ස්ථාවරය සහ ඒ වෙනුවට නව නීති හඳුන්වා දීමට සැලසුම් කිරීම ඇතුළු මෑත කාලීන තත්ත්වයන් කිහිපයක් පිළිබඳව නීතිඥවරයා මේජර් ජෙනරාල් සලේට දැනුම් දී තිබෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමියන් විසින් ජනාධිපතිවරයාට කරන ලද ඉල්ලීම පිළිබඳව ද නීතිඥවරයා සලේට දැනුම් දී ඇති අතර, මානව හිමිකම් කොමිසමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද නීතිඥවරයා මේජර් ජෙනරාල් සලේට පැහැදිලි කර තිබෙනවා

එහිදී අනෙකුත් රැඳවියන් ඉදිරියේ සිදු කරන ලද නිරුවත් සෝදිසි කිරීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳව ද නීතිඥවරයා විසින් සලේට දැනුම් දී තිබෙනවා

එමෙන්ම දැනට කරගෙන යන උපවාසය නතර කරන ලෙස ද නීතිඥවරයාගෙන් ඉල්ලා ඇති බව සදහන්.

පසුව සුරේෂ් සලේ නීතිඥවරයාට දන්වා ඇත්තේ නැවත තම රැඳවුම් කුටියට පැමිණීමට අකමැති බවත්, එම රැඳවුම් ස්ථානය ”‍අපායක්”‍ බවත්, කොන්ත්‍රාත් පදනම මත සේවය කරන දේශපාලනිකව පත් කරන ලද අධ්‍යක්ෂවරයා විසින් එය පාලනය කිරීම පිළිබඳව ද තමන් කණගාටුවට පත්වන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඔහු කෙරෙහි පෞද්ගලික වෛරයක් ඇති අයෙකු බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට තුඩු දුන් සිදුවීම් සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීම පිළිබඳව එම පුද්ගලයා මීට පෙර වැරදිකරු බවට පත්ව ඇති බවත්, අපරාධ නඩු පැවරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත්, එය අද දක්වාම අභියෝගයට ලක් නොවී පවතින බවත් සුරේෂ් සලේ සිය නීතීඥවරයා වෙත වැඩිදුරටත් දන්වා තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය තමන්ට සැලකිල්ලෙන් හා වෘත්තීයභාවයෙන් සලකන අතර තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යම් අයුරකින් පිරීහීගොස් අවාසනාවන්ත ලෙස මරණයට පත්වුවත් රැඳවුම් භාරයට පත් කිරීමට වඩා කොළඹ ජාතික රෝහලේ රැඳී සිටීමට තමන් වඩාත් කැමති බවටද සිය නීතිඥවරයා හමුවේ සලේ ප්‍රකාශකර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes