General19 June 2026

කල්පිටියේ පොලිස් - ගුවන් හමුදා උණුසුම්කාරී සිදුවීම ගැන විමර්ශනයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කල්පිටිය වෙඩි පිටියේදී පසුගිය 17 වැනිදා පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ගුවන් හමුදාව පවසනවා.

ඒ ගුවන් හමුදාපතිවරයා විසින් පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් යටතේයි.

අදාළ අභ්‍යාසය ක්‍රියාත්මක වෙමින් තිබූ අතරතුර පූර්ව අවසරයකින් හෝ දැනුම්දීමකින් තොරව පුද්ගලයන් තිදෙනෙකු වෙඩි පිටියට අයත් ආරක්ෂිත සීමාවට ඇතුළු වී ඇති බව වාර්තා වුණා.

එහිදී රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සාමාජිකයන් හත්දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු විසින් එම සිවිල් පුද්ගලයන් තිදෙනාගෙන් ඔවුන්ගේ අන්‍යතාවය පිළිබඳ විමසීමක් කර තිබුණා.

එහිදී එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු බවත් අනෙක් දෙදෙනා එම පොලිස් නිලධාරියා සමඟ පැමිණි සිවිල් පුද්ගලයන් බව තහවුරු කරගත් බව සඳහන්.

එම විමසීම් අතරතුරයි දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණේ.

බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාස කටයුතු සිදුවන කාලසීමාව තුළ අදාළ ප්‍රදේශය සාමාන්‍ය ජනතාවට ඇතුළු වීම තහනම් ආරක්ෂිත කලාපයක් ලෙස නම් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes