International23 June 2026

ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි

අමෙරිකාව ඇතුළු රටවල් රැසක දැඩි අර්බුදයක් මතු කර ඇති ‘ෆෙන්ටැනීල්’ නමැති කෘතිම ඔපියොයිඩ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස අපනයනය කරන බවට සැකකෙරෙන චීන සංවිධානයක්, ජපානය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ ක්‍රිප්ටෝ මුදල් වංචාවල නිරත වී ඇති බව Nikkei පුවත් සේවය සිදුකළ ස්වාධීන විමර්ශනයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම ජාවාරම්කාර කණ්ඩායම ජපානයේ අන්තර්ජාල වසම් භාවිත කරමින් සාමාන්‍ය ක්‍රිප්ටෝ මුදල් මිලදී ගන්නන් විශාල පිරිසක් මුල්‍යාත්මක වංචාවලට හසුකර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති ආයතන සමගද මොවුන් දැඩි ලෙස මූල්‍ය ගනුදෙනු පවත්වා ඇති බවට සාක්ෂි හමුවී තිබෙන අතර, මෙයින් පෙනී යන්නේ මෙය ඉතා පුළුල් ලෙස සංවිධානය වූ ජාත්‍යන්තර අපරාධ ජාලයක් බවයි.

ජපානය තුළ සිදු වූ මෙම මූල්‍ය අපරාධවලට සම්බන්ධ බවට සැකකෙරෙන ප්‍රධානතම ආයතනය වන්නේ Hubei Amarvel Biotech නමැති චීන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමයි.

අමෙරිකානු බලධාරීන් මේ වන විටත් මෙම ආයතනයට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින අතර, එහි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් දෙදෙනෙකුට පසුගිය වසරේදී ඇමරිකානු අධිකරණයක් මඟින් වැරදිකරුවන් කරමින් දඬුවම් නියම කරනු ලැබුවා.

අමෙරිකානු මත්ද්‍රව්‍ය මර්දන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මැයි මස අගදී පෙන්වා දුන්නේ, ෆෙන්ටැනීල් මත්ද්‍රව්‍ය ජාවාරමේදී ජපානය ප්‍රධාන සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස භාවිත වන බවයි.

අනෙකුත් රටවලට සාපේක්ෂව ජපානයේ සිට අමෙරිකාව බලා යන වාණිජ භාණ්ඩ පරික්ෂා කිරීමේ ක්‍රියාවලිය ලිහිල් ස්වභාවයක් ගන්නා බැවින්, චීනය වැනි රටවල නිෂ්පාදනය කෙරෙන මෙම මත්ද්‍රව්‍ය රසායනිකයන් අමෙරිකාවට ප්‍රවාහනය කිරීම සඳහා ජාවාරම්කරුවන් ජපානය තෝරා ගන්නවා.

මෙහිදී ‘ෆිර්ස්කි’ (Firsky) නමැති අමාවෙල් සමාගමට අනුබද්ධ ආයතනයක් ජපානයේ නගෝයා (Nagoya) නුවර පිහිටුවා ගනිමින්, එහි සිටින ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු හරහා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සහ මූල්‍ය කළමනාකරණය මෙහෙයවා තිබේ. කෙසේ වෙතත්, මෙම ෆිර්ස්කි ආයතනය 2024 ජූලි මාසයේදී වසා දමා තිබෙනවා.

ජපානය තුළ පිහිටුවා තිබූ මෙම මධ්‍යස්ථානය මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මූල්‍ය වංචා ඇතුළු විවිධ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා භාවිත වන්නට ඇති බවට ආරක්ෂක අංශ තුළ දැඩි සැකයක් මතුව ඇති බව සඳහන් වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes