General23 June 2026

2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16

රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය - 2026 සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව 2026.06.22 දින සිට 2026.07.16 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

සියලුම අයදුම්පත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ යුතුයි.

කිසිදු හේතුවක් මත පෞද්ගලික අයදුම්පත් භාරගනු නොලැබේ.

මෙම විභාගය සඳහා අයදුම් කළ හැක්කේ 2026 වර්ෂයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන (එනම් 2027 වර්ෂයේදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පළමුවරට පෙනී සිටීමට නියමිත) සිසුන් පමණක් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කරමින් පද්ධතියට ඇතුළු විය යුතු අතර, සිසුන්ගේ දත්ත නිවැරදිව ඇතුළත් කිරීමෙන් පසු එහි මුද්‍රිත පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්යයි.

මෙම විභාගය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පැවැත්වීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

ක්ෂණික ඇමතුම් අංකය: 1911

දුරකථන අංක: 0112784537, 0112786616, 0112784208

ෆැක්ස් අංකය: 0112784422
Related recommendation
Hiru TV News | Programmes