General25 June 2026

කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි

මෙරට ප්‍රථම හෙද විදුහල වන කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩාය‍ම සඳහා හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී අද (25) පෙරවරුවේ පැවැත්වුණා.

එහිදී හෙද සිසු සිසුවියන් සඳහා වන තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසර සාර්ථකව අවසන් කරන ලද සිසු සිසුවියන් 210 දෙනෙක් වෙනුවෙන් හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීම සිදු කෙරුණු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, නිදහස් සෞඛ්‍ය සේවාව අනාගත දැක්මක් සහිතව සංවර්ධනය වන වකවානුවක මෙම පිරිස වගකීම් සහගත හෙද වෘත්තියට පිවිසීම අතිශය වැදගත් වන බවයි.

මෙරට හෙද සේවාව සඳහා පුළුල් කණ්ඩායමක් බඳවා ගැනීමට කටයුතු මේ වන විටත් දියත් කර ඇති අතර, ඒ අනුව දුවා දරුවන් 3,000ක් පමණ අලුතින් හෙද විදුහල්වලට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කරමින් සිටින බවද ඔහු පැවසුවා.

බඳවා ගැනීම් සහ පත්වීම් ලබාදීමේ සැලසුම් පිළිබඳව කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, මෙම වසරේ ඔක්තොම්බර් මාසයේදී හෙද හෙදියන් 2,847කට ද, 2028 වර්ෂයේ මාර්තු මාසයේදී 1,949කට සහ අගෝස්තු මාසයේදී 2,920කට ද පත්වීම් ලබා දීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළා.

ඒ අනුව 2030 වර්ෂය වන විට හෙද සේවාවට 13,600ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, එම ඉලක්කයෙන් 50%ක් මෙම වර්ෂය අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

රජය විසින් හෙද සේවාවට ඇතුළත් වන සියලු දෙනාගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත්, අවම පහසුකම් යටතේ පවතින හෙද විදුහල් සියල්ල සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර, හෙද අධ්‍යක්ෂවරුන් වන එම්.බී.සී. සමන්මලී, දේවිකා බණ්නැහැක, සුනිල් ශාන්ත, හෙද සභාවේ සභාපති ඩබ්.කේ. කීර්තිරත්න, කොළඹ හෙද විදුහලේ විදුහල්පති අයි.ඩී.ටී.එන්.කේ. තිලකරත්න ඇතුළු රෝහල් අධ්‍යක්ෂවරුන්, හෙද විදුහල් විදුහල්පතිවරුන්, ආචාර්යවරුන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes