General04 July 2026

බස්නාහිර ඩෙංගු අධි අවදානම් කලාප 22ක විශේෂ මෙහෙයුමක්

බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම තීරණය ගනු ලැබුවේ පවතින ඩෙංගු තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (04) ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

එම සාකච්ඡාව සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි වුණා.

මෙම මෙහෙයුම ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ඇතුළු රාජ්‍ය හා ප්‍රජා නියෝජිත පාර්ශ්ව රැසකගේ ඒකාබද්ධ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනවා.

ඩෙංගු මර්දනය සඳහා ජනතා සහභාගිත්වය ඉහළ නැංවීම, මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරීම සහ ප්‍රජාව තුළ ඩෙංගු වැළැක්වීම පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 9කට අදාළව මහරගම, කඩුවෙල, ගෝතමීගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහනගර සභා බල ප්‍රදේශ D1, D3 හා D4 මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 8කට අයත් බියගම, කැලණිය, බීගම, ජා-ඇල, මහර, වත්තල, මිනුවන්ගොඩ ආශ්‍රිතව වැඩසටහන ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes