General05 July 2026

ආධුනික නාවිකයින් 269ක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 264 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් දෙසීය හැට නව දෙනෙකු (269) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර ඊයේ (04) පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර ගියා.

මෙලෙස විසිර ගිය පිරිසට නිත්‍ය ආධුනික නාවිකයින් 249ක් සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් 20ක් ඇතුළත් වෙන බවයි නාවික හමුදාව පවසන්නේ.

උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා.

මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව උදාකර දුන් වෘත්තීය අවස්ථාවන්හි උපරිම ඵල නෙලා ගනිමින් මෙම දූ පුතුන් පිරිස නාවික හමුදාවේ ප්‍රමුඛ පුහුණු ආයතනයක් වන පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනය වෙත අනුයුක්තව සිය මූලික පුහුණුව ලබා තිබේ.

ශික්‍ෂා ආයතනයේදී සිදුකෙරුණු න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම මෙහිදී ප්‍රධාන ආරාධිතයා අතින් සිදු කෙරිණා.

ඒ අනුව, 264 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා ලෙස ආධුනික නැවි එම්ඩීපීඑච් දිසානායක කුසලාන දිනා ගත්තා.

සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයා ලෙස ආධුනික නැවි එස්ඒ තල්පගේ ද, දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ආධුනික නැවි පි කම්සන් ද, දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ආධුනික කාන්තා නැවි එච්ඒඒ රුවන්තිකා සහ දක්‍ෂතම ඉලක්කකරු ලෙස ආධුනික නැවි එන්එම්ඩීඑල් නවරත්න ද කුසලාන හිමි කර ගත්තා.
දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘රණජය’ අංශය විසින් දිනා ගත්තා.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ සඳහන් කළේ, පාසල් අධ්‍යාපනයෙන් පසු නාවික හමුදා සේවය තෝරා ගැනීම තුළින් සැබෑ පෞරුෂයකින් හෙබි එඩිතර පුරවැසියන් වීමට ඔවුන්ට හැකි වී ඇති බවයි.

මෙය පුහුණුවේ ආරම්භය පමණක් බවත්, ඉදිරියේදී ආයුධ හා උපකරණ භාවිතය, නවීන තාක්‍ෂණික ක්‍රමෝපායන් සහ ජාත්‍යන්තර සමුද්‍රීය හා තාක්‍ෂණික ප්‍රවණතා පිළිබඳව නිරන්තරයෙන් අධ්‍යයනය කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නා. නාවිකයෙකු සතු වටිනාම සම්පත විනය සහ පුහුණුව බවත් එය සෑම විටම ඔවුන්ව ආරක්ෂා කරන බවත් ඔහු පැවසුවා.

විසිර යන ලද ආධුනික නාවිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු දර්ශනීය සරඹ සංදර්ශනයකින්, නාවික හමුදා තුර්යවාදක කණ්ඩායම හා සංස්කෘතික නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ විචිත්‍රවත් සංදර්ශනයකින් සහ නාවික හමුදා අංගම් හරඹ සංචිතයේ සංදර්ශණයකින් වර්ණවත් වූ මෙම පෙළපාලිය සාම්ප්‍රදායික හිරු අස්තංගම චාරිත්‍රයෙන් අනතුරුව නිමාවට පත් වුණා.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති ඇතුළු උතුරු මැද නාවික විධානයේ සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම විසිර යන ලද නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් ද සහභාගී වී සිටියා.
Related recommendation
Hiru TV News | Programmes