General05 July 2026

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවේත් සක්‍රීය දායකත්වය

'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ පරිසර පොලීසිය එක්ව අද (05) සිට 12 වන දින දක්වා ක්‍රියාත්මක කරනු ලබන ‘ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් මාලාව’ සඳහා තම සක්‍රීය දායකත්වය ලබා දී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

මෙම ඩෙංගු මර්දන වැඩසටහන යටතේ "ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" (Towards a Dengue-Free Colombo) යන තේමාව පෙරදැරි කරගනිමින් විශේෂ මෙහෙයුම් රැසක් දියත් කෙරිණි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල වනාතමුල්ල, පානදුර, නාරහේන්පිට, මහර සහ වත්තල යන ප්‍රදේශවල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මෙම කටයුතු සඳහා සහභාගි වූහ.

මීට සමගාමීව නාවික හමුදාවේ අනෙකුත් නාවික විධානයන් මඟින් ද ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී එම ප්‍රදේශවල පරිසර පද්ධතීන් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කර පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.

මෙම බාහිර මෙහෙයුම්වලට අමතරව නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළ ද ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මාරාන්තික ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරගෙන යනු ලබන මෙවැනි වැඩසටහන් සඳහා නාවික පුද්ගලයින් නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබන බව නාවික හමුදාව සඳහන් කරයි.
Related recommendation
Hiru TV News | Programmes