General06 July 2026

ඩෙංගු ගැන ඉදිරි සති 04 ත් අවදානම් - සෞඛ්‍ය ඇමති

ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් දැනට පවතින වාර්තා අනුව ඉදිරි සති හතර ද අවදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

කොළඹ අද (06) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඩෙංගු වෛරසය සඳහා නිපදවා ඇති එන්නත මෙරටට හඳුන්වා දීමට තීරණය කර ඇති බවයි.

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 ක් වන අතර 39 දෙනෙකු මේ වන විට මියගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නන්ගර කියා සිටියේ මෙම මාසයේ මුල් දින 5 තුළ පමණක් රෝගීන් 5,663 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

මියගිය පිරිස අතර වයස අවුරුදු 5ට අඩු දරුවන් පස් දෙනෙකු ද සිටින බව ඔහු කියා සිටියා.

මේ අතර බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22ක් ආවරණය වන පරිදි සතියක් පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද දෙවැනි දිනයත් ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත්, ඩෙංගු වසංගතය පාලනය සඳහා තාක්ෂණික කාර්ය මණ්ඩලයේ හිගතාවය ද ගැටළුවක් වී ඇති බවයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes