General06 July 2026

කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවක් වටලයි

කල් ඉකුත් වූ සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි නැවත අලුත් ඇසුරුම්වල බහා වෙළඳපොළට නිකුත් කිරීමේ සහ නීති විරෝධී මත්පැනි නිෂ්පාදනය සඳහා විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් වටලා එහි කළමනාකරු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පාරිභෝගික සේවා අධිකාරිය සමත්ව තිබෙනවා.

යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායට ලැබුණු රහසිගත තොරතුරක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇති අතර, ගබඩා කර තිබූ කල් ඉකුත් වූ සීනි, නව ඇසුරුම්වල බහා කල් ඉකුත් වීමේ දිනය සහ වෙළඳ නාමය වෙනස් කරමින් වෙළඳපොළට නිකුත් කර ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම, ඉතා දුර්වර්ණ වූ, මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ සීනි තොග නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන පුද්ගලයින් සඳහා විකිණීම සිදුකර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ඒ අනුව, වැටලීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ ගබඩාව මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes