General07 July 2026

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරන්න: අධිකරණයෙන් නියෝග!

මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ සහ බන්ධනාගාර සිරකරුවන් 20 දෙනාගේ මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්.එස්.ආර්. වික්‍රමරත්නට අද (07) නියෝග කළා.

මෘත දේහවලට අදාලව මරණකරුවන්ගේ පවුලේ භාරකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර පශ්චාත් මරණ පරීක්ෂණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෘතදේහයන් මරණකරුවන්ගේ ඥාතීන්ට භාර දෙන ලෙස ද මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චිට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ.

මෙ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චි සහ අධිකරණ පොලිස් නිලධාරී සැරයන් (53883) බණ්ඩාර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.

මෙම ගැට‍ුමෙන් මියගිය 27 දෙනා සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මීගමුව මහ රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මරණකරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කරමින් නඩුව කල් තැබීය.
Related recommendation
Hiru TV News | Programmes