General07 July 2026

ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මෙවර ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන අදාල අමාත්‍යාංශ සහ ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ ප්‍රථම සඳුදා දිනය ලෝක ජනාවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

නිවාස හා ජනාවාස සංවර්ධනය සම්බන්ධ ගැටලු, විකල්ප විසඳුම් හා නව ප්‍රවණතා පිළිබඳව සියලු පාර්ශ්වකරුවන්ගේ අවධානය යොමු කරවීමත්, ජාතික මට්ටමේ සංවාදයක් ගොඩනැඟීම තුළින් ඒ පිළිබඳව සියලු පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීමත් මෙහි මූලික අරමුණක්.

එමෙන්ම, එකී ප්‍රයත්නයන්ගේ ප්‍රතිලාභ කඩිනමින් සියලු ජනතාව වෙත ළඟා කර දීම ද මෙම දිනය සැමරීමේ අරමුණු අතර වේ.

මෙවර ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් මස 05 වන දිනට යෙදී ඇති අතර, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 'සැමට ප්‍රමාණවත් නිවාස' - 'Adequate Housing for all' යන්න මෙවර තේමාව ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලෝක ජනාවාස දිනය ලොව පුරා ක්‍රියාවට නංවන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතායතනය වශයෙන් කටයුතු කරනු ලබන්නේ නිවාස විෂය භාර අමාත්‍යාංශයයි.

ඒ අනුව, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් සෙසු අදාල අමාත්‍යාංශ හා සියලුම ආයතනවල දායකත්වය ලබා ගනිමින් මෙවර ද ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes