General08 July 2026

කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්

කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (8) නියෝග කළා.

එසේම, සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත ‍යැවීමට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා.

මෙම සිද්ධියට අදාලව එම කාර්යාලයේ සේවය කරන ලද අනෙක් සාක්ෂිකරුවන්ගේ බැංකු වර්තා සහ දුරකථන වර්තා සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයයට වර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සැකකාරියට කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම ද මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්විමෙන් නතුරුව මෙම නියෝගය නිකුත් වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 02 වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය වශයෙන් සිට එම කාර්යාලයේ පත්තිරු, වෙළුම්, ඔප්පුවල දෙවන පිටපත්වල, වෙළුම්වල බැඳ ඇති ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබලදීම කුමන්ත්‍රණය, නීත්‍යානුකූල අයිතිකරුවන්ගෙන් ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට එකී ඉඩම් බැහැර කිරීම යන වැරදි සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

දණ්ඩ නීති සංග්‍රහයේ 109,113 සමග කියවිය යුතු 113 (ආ) 158 දරන වගන්ති ප්‍රකාරව වැරැදි සිදු කිරීම හා පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනත ප්‍රකාර වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධියට අදාල නඩුව යළි හෙට (09) කැඳවිමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes