General09 July 2026

'මිසින් ත්‍රෙඩ්ස්' සමඟ ශ්‍රී ලංකාව හොලිවුඩ් වෙත පිවිසෙයි

ඇමරිකානු ප්‍රේක්ෂකයන් ඉලක්ක කර නිෂ්පාදනය කෙරෙන ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් ලෙස හඳුන්වා දෙන 'මිසින් ත්‍රෙඩ්ස්' (Missing Threads) චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.

ඒ නිමිත්තෙන් පසුගිය ජූලි 7 වැනිදා රංගන ශිල්පීන්, චිත්‍රපට කාර්ය මණ්ඩලය, මූල්‍ය ආයෝජකයන්, හිතවතුන් සහ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

එහිදී නිෂ්පාදක තලවූ අලෙයිලීමා සමාරම්භක දේශනය පැවැත්වූ අතර, අධ්‍යක්ෂ ජොෂුවා අලෙයිලීමා මීට පෙර අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපට කිහිපයක් ද ප්‍රදර්ශනය කෙරිණි. ඉන් අනතුරුව නිල ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු උත්සවය නිමාවට පත් විය.

'මිසින් ත්‍රෙඩ්ස්' යනු 'Zodiac' සහ 'Se7en' වැනි චිත්‍රපට සිහිගන්වන ගවේෂණාත්මක අපරාධ හා ත්‍රාසජනක කතා තේමාවකින් යුත් සිනමා නිර්මාණයකි. 'වර්ඩියෝන්' (Verdeon) නම් දැවැන්ත සමාගමක් වටා ගොඩනැඟෙන මූල්‍ය වංචා පිළිබඳ සත්‍යය අනාවරණය කිරීම සඳහා මාධ්‍යවේදිනියක වන මායා පෙරේරා සිදු කරන ගවේෂණය මෙහි කේන්ද්‍රීය තේමාව වේ. එම ගවේෂණය අතරතුර ඇය හෙළිදරව් කරන තොරතුරු, රටේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් භයානක සත්‍යයන් අනාවරණය වන ත්‍රාසජනක ගමනකට මඟ පාදයි.

මෙම චිත්‍රපටය හරහා ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමේ නව අවස්ථාවක් උදා වනු ඇතැයි නිෂ්පාදකයෝ විශ්වාසය පළ කරති. එමෙන්ම මෙය විදේශීය සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙරට සිනමා කර්මාන්තයේ ව්‍යාප්තියට සහ නව ආර්ථික අවස්ථා බිහි කිරීමට ද දායක වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

චිත්‍රපටයේ රංගනය සඳහා කෞශල්‍යා ප්‍රනාන්දු, බුද්ධික ජයරත්න, ධර්මප්‍රිය ඩයස් සහ ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීහු එක්ව සිටිති. ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලාංකික නිළි රෙබෙකා මුණසිංහ සහ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිර්මාණ ශිල්පිනියක වන නීෂ් (Neesh) විසිනි.

'මිසින් ත්‍රෙඩ්ස්' චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ 'Power World Gyms' සහ 'Edge Nutrition' හි නිර්මාතෘ තලවූ අලෙයිලීමා විසිනි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජොෂුවා අලෙයිලීමා මේ වන විට ඇමරිකාවේ බයෝලා විශ්වවිද්‍යාලයේ (Biola University) සිනමා අධ්‍යයනය හදාරමින් සිටියි. එම විශ්වවිද්‍යාලයේ ආදි සිසුන් අතර 'Doctor Strange' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ස්කොට් ඩෙරික්සන් සහ ලොව ප්‍රකට ඩිජිටල් නිර්මාණකරුවකු වන සැක් කින්ග් ද වෙති.

20 හැවිරිදි ජොෂුවා සිය නව යොවුන් වියේ සිටම චිත්‍රපට අධ්‍යක්ෂණයේ නිරත වී ඇති අතර, මේ වන විට සිය ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිටියි. එතරම් තරුණ වියේදී ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ.

'මිසින් ත්‍රෙඩ්ස්' චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා ඇමරිකාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් පැමිණි ජාත්‍යන්තර කාර්ය මණ්ඩලයක් එක්ව සිටියි. අවසන් නිෂ්පාදන කටයුතු ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ සිදු කෙරෙන අතර, 'Dune' චිත්‍රපටයේ ද භාවිත කළ Arri Alexa LF වර්ගයේ සිනමා කැමරාවකින් මෙම චිත්‍රපටය රූගත කෙරේ. දැනට එවැනි වර්ගයේ කැමරාවක් ශ්‍රී ලංකාවේ පවතින්නේ එකක් පමණි.

Related recommendation
Hiru TV News | Programmes