General09 July 2026

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ නිලධාරීන් පුහුණු කරන ප්‍රමුඛතම ආයතනයක් වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට (NIHS) වසර 100 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමන හෙට (10) දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

එය, හෙට (10) පෙරවරු 7.30 ට කළුතර මහා නගර සභා පරිශ්‍රයෙන් ආරම්භ වීමට නියමිතව ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කළුතර නගර වැසියන්, ව්‍යාපාරිකයන් සහ මඟීන් වෙත වැදගත් මහජන සෞඛ්‍ය පණිවිඩ හා උපදෙස් බෙදාහරිමින් ගමන් ගන්නා මෙම පාගමන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයෙන් අවසන් වේ.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ වටිනාකම සහ එහි බලපෑම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, මහජනතාව වෙත වැදගත් මහජන සෞඛ්‍ය පණිවිඩ සන්නිවේදනය කිරීම සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වසර 100 ක් පුරා ඉටු කළ ඓතිහාසික මෙහෙවර ඇගයීමට ලක් කිරීම මෙම පා ගමනේ අරමුණ වෙනවා.

මෙම සුවිශේෂී පාගමන සඳහා ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ හා ඒ යටතේ ඇති ආයතනවල කාර්ය මණ්ඩලය, වර්තමාන සිසුන්, ආදි විද්‍යාර්ථීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, කළුතර මහා නගර සභාවේ නියෝජිතයන්, ක්ෂේත්‍රයට අදාළ සංවිධාන සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.

1926 ජූලි 1 වැනිදා රොක්ෆෙලර් පදනමේ (Rockefeller Foundation) දායකත්වයෙන් ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය ලෙස කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ආරම්භ වුණා.

සියවසක් පුරා මෙරට සමස්ත ජනතාවගේම සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් සහ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරියන් ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පෙරමුණේම සිටින සෞඛ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් මෙම ආයතනයෙන් බිහිකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes