General09 July 2026

මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹුල් පෙරහර අගෝස්තු 18

ආරක්ෂාවට පොලිසියේ 6000ක්

මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹුල් පෙරහර අගෝස්තු මස 18 දින වීදි සංචාරය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

පුරා දින 05 ක් කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහර 23 දින වීදි සංචාරය ආරම්භ කරන බවත් අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණී පුන් පොහෝ දිනය යෙදෙන 27 දින වීදි සංචාරය කරන බවත් ඔහු පැවසුවා.

පෙරහර දිනවකවානු ප්‍රසිද්ධ කිරීම හා පෙරහර සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී පැවැති රැස්වීමකදී ඔහු මෙසේ සඳහන් කළා.

දියකැපීමේ මංගල්‍යය 28 දින අළුයම ගැටඹේ දියකපනා තොටේදී පැවැත්වීමෙන් අනතුරව දහල් පෙරහර වීදි සංචාරය කරයි.

පසුව මෙවර පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා අවසන් කළ බව දැකවෙන පෙරහර සංදේශය දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සිව් මහා දේවාල හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු පෙරහරින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත බාරදීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්වනු ඇති.

මෙවර මහනුවර ඇසළ පෙරහර සමයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000 ක් රාජකාරියේ යොදවන බවයි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ සඳහන් කළේ.

මධ්‍යම පළාතේ පොලිස් ස්ථාන වල රාජකාරි කරන පිරිසට අමතරව පිට පළාත්වලින් පොලිස් නිලධාරින් 4000 ක් පමණ කැඳවීමට නියමිත බවත් ඒ අතර රාජ්‍ය නිවේදිත නිලධාරීන් 20 දෙනෙකු පමණ සිටින බවත් හෙතෙම පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes