General10 July 2026

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ලද සාක්ෂි මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට - රෝහලේ සිටින අයගෙනුත් CIDය ප්‍රකාශ ගනී

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඉන්පසුව අනෙකුත් බන්ධනාගාරවල සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට සාක්ෂි රැස් කර ඒවා ඇගයීමට ලක් කරමින් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

ඒ අදාළ විමර්ශන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.

ඊට අදාළව කිසිදු නිගමනයකට එළඹ නොමැති බවයි එහි සදහන් වන්නේ.

ඒ අනුව, මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ රැඳවියන්ගේ හා බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ සහ තුවාල වලට හේතුවූ තත්ත්වයන් සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කෙරෙනවා.

එසේම පසුගිය ජූලි 7 වන දින රාත්‍රී 8.30 ට පමණ පූර්ව දැනුම් දීමකින් තොරව රැඳවියන් පරික්ෂා කිරීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන්ට එහි පිවිසීම ප්‍රතික්ෂේප කිරීම සහ මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කරන ලද රැඳවියන්ට වධ හිංසා පමුණුවනු ඇති බවට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ද එම කොමිසම විමර්ශන සිදුකරන බව සදහන්.

මේ අතර මීගමුව බන්ධනාගරයේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සදහන්.

එවන් පසුබිමක දිවි අහිමි වූ තවත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

ඒ අනුව, බන්ධනාගාර නිලධාරි B.N. තරංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බලන්ගොඩ පහල් වන්දෙනිය පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

සිද්ධියෙන් මියගිය කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නිලධාරි එම්.ජී.උපාලිගේ දේහය අද පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර අනතුරුව දේහය ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත භාරදුන්නා.

‍මෙහිදී දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරින් 08 දෙනාට උසස් වීම් සහ වන්දි ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළ අතර, මෙම උසස් වීම් එම නිලධාරීන් මියගිය දිනයේ සිට ක්‍රියාත්මකයි. ඔවුන් වෙනුවෙන් මේවන විට ලක්ෂ 05 බැගින් වන්දි මුදලක්ද අධිකරණ අමාත්‍යංශය මගින් ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී.ගජනායක සඳහන් කළා.

මේ අතර, ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැදවියන් 29 දෙනාගෙන් 24 දෙනෙකුගේ මුද්‍රා තැබූ මරණ පරීක්ෂණ වාර්තා පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, පසුව එම වාර්තා ඥාතීන් වෙත භාරදෙන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා නියෝග කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes