International11 July 2026

චීන ගංවතුරෙන් සර්ප ගොවිපොළකට හානි: පැනගිය සර්පයන්ගෙන් දෂ්ඨන

චීනයේ 'මේසැක්' (Maysak) සුළි කුණාටුව හෙන්ෂෝ (Hengzhou) කලාපය හරහා හමා යාමෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එසේම එම කලාපයේ සිටි සර්පයන් 900ක් පමණ නිදැල්ලේ සැරිසරමින් පවතින බවත්, ඉන් බහුතරයක් අධික විෂ සහිත සර්පයන් බවත්, CNN පුවත් සේවය සඳහන් කරනවා.

ප්‍රදේශයේ ගංවතුරට හසු වූ සර්ප ගොවිපළකින් පළා ආ බවට සැකකෙරෙන සර්පයෙකු දෂ්ට කිරීමෙන් එක් කාන්තාවක් මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුටම සර්පයන් දෂ්ට කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට චීන බලධාරීන් ගම්වාසීන්ට මෙම සර්පයන්ගෙන් ඈත්ව සිටින ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, මෙලෙස නිදැල්ලේ හැසිරෙන්නේ සර්පයන් පමණක් නොවන අතර, කලාපයේ පිහිටි සත්වෝද්‍යානයක් ගංවතුරට හසු වීමත් සමග සීබ්‍රාවන් දෙදෙනෙකු, කුඩා ප්‍රමාණයේ අශ්වයන් තිදෙනෙකු සහ බූරුවන් දෙදෙනෙකු ඇතුළු තවත් සතුන් කිහිපදෙනෙකුම එලෙස පැන ගොස් ඇති බව සඳහන්.

පුද්ගලික අයිතිකරුවෙකු සතු 'ගුයිගැං' (Guigang) සත්වෝද්‍යානය හදිසි නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ, පළා ගිය සතුන් අතර සිටින පැසබරන්, පක්ෂීන් සහ තවත් සතුන් කිහිප දෙනෙකු බියට පත් වූ විට ප්‍රචණ්ඩකාරී විය හැකි බවයි.

එමෙන්ම එම සතුන් දුටුවහොත් ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

සත්වෝද්‍යානයේ හිමිකරු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, ගංවතුර මට්ටම ඉහළ යන විට සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය තමන්ගේ ජීවිත පවා පරදුවට තබමින් අන්තරාදායක සතුන්ගේ කූඩු වසා දැමීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් සිංහයන් තිදෙනෙකු ජලයට හසුවී ගිලී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

චීන 'ෂැංග්යූ නිවුස්' (Shangyou News) වාර්තා කරන පරිදි, ඌරන් 16,000කට අධික සංඛ්‍යාවක්ද මෙම ගංවතුරට ගසාගෙන ගොස් තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes