General11 July 2026

ජනපති පොදු සමාව දෙන හැටි වෙනස් කරන කමිටු වාර්තාව භාර දෙයි

ශ්‍රී ලංකාවේ ජනාධිපති සමාව පිරිනැමීමේ ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා පත්කළ කමිටුව, බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති සමාව ලබාදීම වඩාත් ක්‍රමවත්, සාධාරණ සහ විනිවිදභාවයකින් යුත් රාමුවක් යටතේ සිදුකිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් විස්තීර්ණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම වාර්තාව ඊයේ (10) අධිකරණ අමාත්‍යාංශයේදී කමිටුවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන වෙත නිල වශයෙන් භාර දී තිබුණා.

එම කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (නීතිඥ) අසංග කරවිට, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපති මහාචාර්ය වසන්තා සුබාසිංහ, විශේෂඥ වෛද්‍ය චිත්තහාරි අබේනායක, හිටපු වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිශාන් ධනසිංහ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) රෝෂණී හෙට්ටිගේ සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චන්දිමා වැලිකල යන පිරිසගෙන් සමන්විත වුණා.

2025 ජුනි 25 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කමිටුව පත්කරනු ලැබුවේ පවතින බන්ධනාගාර පද්ධතියේ පරිපාලනමය අඩුපාඩු පරීක්ෂා කර බලා ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලියට ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහායි.

එම නිර්දේශ සකස් කිරීමේදී, කමිටුව විසින් පවතින නීති, අධිකරණ පූර්වාදර්ශ සහ ජනාධිපතිවරයාට සමාව දීමේ බලය පැවරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියේ ප්‍රතිපාදන සමාලෝචනයට ලක්කර තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අනුව, මෙම නිර්දේශ මඟින් ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය ඉහළ නැංවීම, බන්ධනාගාර තදබදයට විසඳුම් සෙවීම සහ රැඳවියන් පුනරුත්ථාපනය කිරීම ශක්තිමත් කිරීම මඟින් රජයේ පුළුල් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ඉහළ දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරනවා.
Related recommendation
Hiru TV News | Programmes