General12 July 2026

ඩෙංගු නිසා සති දෙකක් වසා තැබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි

ඩෙංගු උවදුර හේතුවෙන් සති දෙකක කාලයක් වසා තබා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරනවා.

විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට පෙර එහි පරිශ්‍රය පිරිසිදු කිරීමේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් 'Clean Sri Lanka' වැඩසටහන යටතේ අද (12) දවස පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති 'Clean ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනේදී සෞන්දර්ය විශ්වවිද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීම, දුමායනය කිරීම සහ මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සිදුකරන තිබෙනව.

මේ සඳහා කොළඹ නගර සභාවේ බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, යුද හමුදාව, නාවික හමුදාව සහ විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියා.

පරිශ්‍රය පිරිසිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ කියා සිටියේ, සාර්ථකව සිදුකළ මෙම පිරිසිදු කිරීම්වලින් පසුව විශ්වවිද්‍යාලය හෙට (13) සිට විවෘත කිරීමට හැකි වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අවධාරණය කළේ, මෙවැනි පොදු ස්ථාන තමන්ගේම ස්ථාන යැයි සලකා පිරිසිදු කර ගැනීමට සිසුන් මෙන්ම දෙමාපියන්ද එක්විය යුතු බවයි.
Related recommendation
Hiru TV News | Programmes