General12 July 2026

ඩෙංගු අධිඅවදානම් කලාප 60ක මදුරු මර්දන මෙහෙයුමක්

දිවයින පුරා දිස්ත්‍රික්ක 11 ක ඩෙංගු අධිඅවදානම් කලාප 60 ක් ආවරණය කරමින් හෙට සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්.

මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති වසර ලෙස 2017 වසර දැක්විය හැකි අතර එම සංඛ්‍යාව 186,101ක් ලෙස දැක්වෙනවා.

එම වර්ෂයේ දිනකට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සාමාන්‍ය අගය 510ක් ලෙස දැක්වුණා.

2026 වසරේ මේ දක්වා ගෙවුණු කාලයේදී පමණක් ඩෙංගු රෝගීන් 67,000 සීමාව මේ වනවිට පසු කර ඇති අතර ඒ අනුව 2017 වසරේ තිබූ අධි අවදානම් සහගත තත්ත්වය කරා ළඟා වෙමින් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.

මේ අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය හේතුවෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව 1,000 සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,000 ඉක්මවා ඇති අතර සිදු වූ මරණ සංඛ්‍යාව 47ක්.

ජූනි මාසයේදී මෙරටින් ඩෙංගු රෝගීන් 21,538 දෙනෙකු වාර්තා වූ අතර, මේ මාසයේ මුල් දින 10 තුළදී පමණක් ඩෙංගු රෝගීන් 11,764 දෙනෙකු වාර්තා වනවා.

මේ වනවිට දිවයින පුරා නම්කර ඇති ඩෙංගු අධි අවදානම් කලාප ගණන 175ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ප්‍රදේශ රැසකම ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes