General12 July 2026

නීති විරෝධී මත්පැන් සහ ගෝඩා වැටලීම් තුනකින් තිදෙනෙක් දැලේ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඊයේ (11) සිදු කළ වැටලීම් තුනකදී නීති විරෝධී මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පළමු වැටලීම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (11) උදෑසන කාලයේදී පිළියන්දල පොලිස් වසමේ කරදියාන ප්‍රදේශයේදී සිදුකර ඇති අතර, එහිදී ලැබුණු තොරතුරකට අනුව නීති විරෝධී මත්පැන් ලීටර් 78 ක් සහ මිලිලීටර් 750 ක් සමඟ 50 හැවිරිදි කරදියාන ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පිළියන්දල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

හලාවත කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (11) දංකොටුව පොලිස් වසමේ තාමරකුලිය ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇති අතර, එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 52 ක් සහ මිලිලීටර් 500 ක් සමඟ දංකොටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, මොරගහහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරගහහේන පොලිස් වසමේ බෙලිඅත්තවිල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී බැරල් 10 ක අඩංගු කර තිබූ ගෝඩා ලීටර් 1849.5 ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 14 ක් සහ මිලිලීටර් 250 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

පිළියන්දල, දංකොටුව සහ මොරගහහේන යන පොලිස් ස්ථාන මඟින් අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes