General16 July 2026

කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

කාර් රථයක් ගිනි ගන්නා දර්ශණයක් සහ ඒ අසලින් සිසුවෙකු ගමන් කරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

මෙම වීඩියෝව තුළින් සිසුවා විසින් කාර් රථයට ගිනි තැබීමක් සිදුකර ඇති බවට ගම්‍ය වන ආකාරයේ හඬ පටයක්ද අතුළත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම කාර් රථය ගිනි ගැනීමේ සිදුවීම කුරුණෑගල පොලිස් වසමේ පිහිටි විදුහල් භූමියක සිදුවීමක් බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

කුරුණෑගල පොලිස් ස්ථානය මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ලබා දී ඇති වාර්තාව අනුව, පසුගිය 03 වැනිදා කුරුණෑගල නගරයේ විදුහල් භූමියක ලක්ෂ 140ක් පමණ වටිනා කාර් රථයක් ගිනිගෙන ඇති බවත්, මේ සම්බන්ධයෙන් සිසුවෙක් වගකිව යුතු බවට සඳහන් කරමින් පැමිණිල්ලක් කුරුණෑගල පොලිස් ස්ථානයට ලැබී ඇති බවත් සඳහන්.

කුරුණෑගල පොලිසිය විසින් මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, සිදු කරන ලද විමර්ශනයේදී මෙම කාර් රථය අසලින් එම අවස්ථාවේ ගමන් ගන්නා සිසුවා එම විදුහලේම අධ්‍යාපනය ලබන සිසුවෙක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

එසේ වුවද මෙම වීඩියෝවේ දර්ශණය වන සිසුවා කාර් රථයට ගිනි තැබූ බවට ඇසින් දුටු සාක්ෂි කිසිවක් හෝ පර්යේෂණ සාක්ෂියක් හෝ මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යනු ලබන අතර, රජයේ රස පරීක්ෂක කාර්යාලය මගින් ද ගිනි ගැනීමට හේතුව සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂි ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes