General17 July 2026

කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

මකුලුගස්වැව පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වී සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ රාජකාරි වේලාවේදී බීමතින් සිටීම ‍යන හේතූන් මත චෝදනා ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට අද (17) පියවර ගෙන තිබෙනවා.

වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා පසුගිය 15 වැනි දින දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයක රාජකාරි සඳහා අනුයුක්ත කර සිට ඇති අතර, එම රාජකාරිය නිමා කිරීමෙන් අනතුරුව ඔහු නැවත වාර්තා කිරීම සඳහා මකුලුගස්වැව පොලිස් ස්ථානය වෙත පැමිණ තිබෙනවා.

එහිදී, පොලිස් ස්ථානයේ පුටුවක් මත වාඩි වී සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක දැක ඇති සැකකාර නිලධාරියා, ඇය අසලට ගොස් ඇයගේ උකුළ මත වාඩි වීමට උත්සාහ කර ඇති අතර, මෙම අශෝභන හැසිරීමත් සමග දැඩි අපහසුතාවයට පත් කාන්තා පොලිස් නිලධාරිනිය, වහාම ක්‍රියාත්මක වී මකුලුගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයා (ASP) වෙත මේ පිළිබඳව නිල වශයෙන් පැමිණිලි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලැබුණු පැමිණිල්ල මත සහකාර පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් වහාම විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේදී දැඩි ලෙස බීමතින් සිට ඇති බවයි.

ඒ අනුව, කාන්තා පොලිස් නිලධාරිනියට අතවර කිරීමට තැත් කිරීම සහ රාජකාරි අවස්ථාවකදී බීමතින් හැසිරෙමින් පොලිස් විනය කඩ කිරීම යන චෝදනා යටතේ සිදුකළ මූලික විමර්ශනයෙන් අනතුරුව, සහකාර පොලිස් අධිකාරිවරයා විසින් අද දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට නියෝග කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes