General19 July 2026

මාලිමා රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අධිකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගුණු සම්මුති සහ එකඟතා රැසක් පවතින බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලය බෙදාහැරීම මෙන්ම සංවරණ හා තුලන ක්‍රමය තුළින් බවත් විපක්ෂ සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙසපොතේනියානු ඊජිප්තු ග්‍රීක රෝම යුගයේ සිට මැග්නා කාටා දක්වාත් මධ්‍ය කාලීන එංගලන්තයේ පොදු නීතිය නිර්මාණය වීමත් 1787 ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 1948 දී මානව හිමිකම් ද 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සහ 1985 දී අධිකරණයේ ස්වාධිනත්වය සම්බන්ධ මූලික ප්‍රතිපත්ති ආදී නීතිමය ප්‍රගතිශිලී පියවර රැසක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (19) සමගි නීතිඥ සම්මේලනය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සංවිධානය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වූ මහජන කථිකාවත අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවා.

“ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය සඳහා බලය බෙදාහැරීම මෙන්ම සංවරන හා තුලන ආදී ක්‍රමය තුළින් ශක්තිමත් කිරීම තුළින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘත්‍රියෙන් රාජ්‍ය පාලනය වුණා. අධිකරණය ස්වාධින වන තරමටම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වනවා. ජාත්‍යන්තර ප්‍රතිපත්ති න්‍යායයන් අප රට තුළත් සාක්ෂාත් වී තිබෙනවා. සමහර අයට මේ ජාත්‍යන්තර න්‍යායන් ප්‍රතිපත්ති හා සම්මුතීන් ගැන විපක්ෂයේ සිටින විට මතක් වුවත් බලය ලැබුණු පසු එම බල කේන්ද්‍රස්ථානයන් තහවුරු කිරීමේ දී අමතක කරලා. අද වන විටත් උපරිමාධිකරණවල විනිසුරුවන් ගණනාවක් පත් කරන්නට තිබුණත් එම පත්කිරීම් නොකරමින් සිටිනවා. මෙම විනිසුරුවන් පත් නොකිරීමම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් සේම අධිකරණයට සිදු කරන අනිසි බලපෑමක්.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස 65 සිට 67 දක්වාත් අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස 63 සිට 65 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කරලා තියෙනවා. ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර මේ කරුණ පමණක් සිදු කරන්නේ ඇයි ද කියා ගැටලුවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට එවැනි දෙයක් නොමැති බවට රජය පැවසූවා. රජය මේ කරන්න හදන්නේ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක්. මේ තුළින් අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කිරීමක් සිදුවනවා. ඊට අමතරව ජනතාවට අධිකරණය සම්බන්ධ විශ්වාසයක් නැතිවෙනවා. මේ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා.

මේ සඳහා පාර්ශ්ව රැසක් විරුද්ධ වන විට පවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියා බලයට පැමිණි අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය ලැබූ ජනවරම පාවා දී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනවා වෙනුවට ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න කටයුතු කරන්නේ ඇයි ද කියා ප්‍රශ්න අපි කරනවා. රජයේ මේ වියරුවට සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතුයි. ජනතාව සමඟ එකට එකතු වී මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ පරාජය කරන්න පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව එකට එකතු විය යුතුයි.

රජයේ මේ ක්‍රියාදාමය නිසා IMF වැනි ආයතන තුළින් බලපෑම් එල්ල වී ආර්ථික අභියෝග පවා එල්ල විය හැකියි. IMF රජයේ මේ සංශෝධන සම්බන්ධයෙන් දරන මතය දැන ගැනීමට අවශ්‍යයි. යුරෝපා හවුලේ GSP+ ආදියට ද මේ තුළින් බලපෑම් සිදුවිය හැකියි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනතාව සේම රජය දැනුවත් විය යුතුයිත ජන සවියෙන් මේ වැරදි ක්‍රියාව පරාජය කරන්න කටයුතු කළ යුතුයි. අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කළ යුග පැවතියත් නැවත වරක් එවැනි යුග ඇති නොවිය යුතුයි. මේ එකතු වන්නේ අධිකරණයේ ස්වාධිනත්ය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමටයි.”
Related recommendation
Hiru TV News | Programmes