General20 July 2026

ලෝක කුසලාන රන් සපත්තුව සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට Kylian Mbappe පත්වෙයි

2026 ලෝක කුසලාන පා පන්දු තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි සම්මානය දිනා ගැනීමත් සමඟ, ලෝක කුසලාන රන් සපත්තුව (Golden Boot) සම්මානය දෙවරක් දිනාගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ප්‍රංශයේ Kylian Mbappe (කිලියන් එම්බාපේ) සමත්ව තිබෙනවා.

තරගාවලියේ පැවති දැඩි තරඟකාරීත්වය හමුවේ ලියොනල් මෙසීව පසුකර යමින්, මෙම ප්‍රංශ ඉදිරිපෙළ ක්‍රීඩකයා තරග 8කදී ගෝල 10ක් රැස් කිරීමට සමත් වුනා.

2022 කටාර් ලෝක කුසලාන තරඟාවලියේදී ද ගෝල 8ක් ලබා ගනිමින් වැඩිම ගෝල ලාභියා වූ එම්බාපේ, මෙලෙස පිට පිටම පැවැත්වුණු ලෝක කුසලාන තරඟාවලි දෙකකදීම රන් සපත්තුව සම්මානය දිනාගෙන තිබෙනවා.

1970 වසරේදී බටහිර ජර්මනිය වෙනුවෙන් ගර්ඩ් මුලර් (Gerd Muller) ලබාගත් ගෝල සංඛ්‍යාවෙන් පසුව, එක් ලෝක කුසලාන තරඟාවලියකදී ගෝල දහයේ සීමාව පසුකළ පළමු පිරිමි ක්‍රීඩකයා වන්නේ ද මෙම 27 හැවිරිදි ක්‍රීඩකයායි.

එක් තරඟාවලියකදී මීට වඩා තනි පුද්ගල ගෝල සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ 1958 දී ප්‍රංශය වෙනුවෙන් ගෝල 13ක් රැස් කළ ජස්ට් ෆොන්ටේන් (Just Fontaine) සහ 1954 දී ගෝල 11ක් රැස් කළ හන්ගේරියාවේ සැන්ඩෝර් කොචිස් (Sandor Kocsis) පමණයි.

එමෙන්ම, එම්බාපේ මේ වන විට ලෝක කුසලාන පිරිමි පාපන්දු ඉතිහාසයේ සමස්ත වැඩිම ගෝල ලාභියා බවට පත්ව ඇත්තේ මුළු ගෝල 22ක් ලබා ගනිමින්.
Related recommendation
Hiru TV News | Programmes