General22 July 2026

පෝයට කරන සංවිධානාත්මක බෝග සොරකම් නිසා වගාකරුවන් දැඩි අර්බුදයක

ශ්‍රී ලංකාවේ වැඩි වටිනාකමකින් යුත් වාණිජ බෝග සංවිධානාත්මක ලෙස සොරකම් කිරීම හේතුවෙන් වගාකරුවන් සහ ප්‍රාදේශීය වතු සමාගම් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, මෙය රටේ ආර්ථිකයට එල්ල වී ඇති තර්ජනයක් ලෙස සලකා වහාම පියවර ගන්නා ලෙසත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

ගම්මිරිස්, ඉඟුරු, කරදමුංගු, කුරුඳු, වැනිලා, අලිගැටපේර ඇතුළු වටිනා බෝග මෙලෙස සංවිධානාත්මක කණ්ඩායම් විසින් සොරකම් කරනු ලබනවා.

විශේෂයෙන්ම පසළොස්වක පොහොය දින ආශ්‍රිතව සඳ එළිය පවතින රාත්‍රීන්හිදී විදුලි පන්දම් පවා භාවිත නොකර පැය කිහිපයක් ඇතුළත විශාල වගා භූමි ප්‍රමාණයක් ශුද්ධ කිරීමට මෙම සොරුන් කටයුතු කරන බවත්, සොරකම් කළ අස්වැන්න නීති විරෝධී වෙළඳ ජාලයන් වෙත යොමු කිරීමෙන් පසු සෙවීම අපහසු වන බවත් සඳහන්.

මෙම සොරකම් හේතුවෙන් ඇතැම් වතු සමාගම් සිය වගාවන් සුරක්ෂිත කරගැනීම සඳහා මාස 3 ක කාලයක් තුළ එක් බෝගයක් උදෙසා පමණක් රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙන අතර අධික පිරිවැය සහ සොරකම් හමුවේ ඇතැම් වගාකරුවන් නව වගා ව්‍යාපෘති පවා අතහැර දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

වත්මන් නීතිය යටතේ කෘෂිකාර්මික සොරකම් සඳහා පවතින දඬුවම් සහ දඩ මුදල් ඉතා අවම මට්ටමක පැවතීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන වැවිලිකරුවන්ගේ සංගමය, නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසත්, සොරකම් කෙරෙන බෝග අලෙවි වන ජාලයන් නියාමනය කිරීමට පියවර ගන්නා ලෙසත් රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes