General22 July 2026

පර්පෙචුවල් ට්‍රෙෂරීස් තහනම ගැන අවසන් තීරණය ළඟදීම

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (PTL) සමාගමේ ව්‍යාපාරික කටයුතු තහනම් කිරීම වාර ගණනාවක් තිස්සේ දීර්ඝ කිරීම ළඟදීම අවසන් වන අතර, ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ලියාපදිංචි තොග සහ සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ පනවා ඇති රෙගුලාසිවලට අනුව ක්‍රියා කරමින්, මහ බැංකුව මගින් සිදු කරනු ලබන විමර්ශන ඉදිරියට කරගෙන යාම සඳහා, ප්‍රාථමික වෙළෙන්දෙකු ලෙස PTL සමාගම විසින් කරනු ලබන ව්‍යාපාර සහ කටයුතු තහනම් කිරීම 2026 ජූලි 5 වන දින පස්වරු 4.30 සිට තවත් මාස හයක කාලයකට දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළා.

මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ සඳහන් කළේ PTL සමාගම සම්බන්ධ වූ මෙම බැඳුම්කර වංචාව මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව වන බවයි.

"මෙම සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමට අයත් රුපියල් බිලියන 12කට අධික වත්කම් රාජසන්තක කිරීම ඇතුළු පියවර කිහිපයක්ම මහ බැංකුව විසින් ගෙන තිබෙනවා," යැයිද මහ බැංකු අධිපතිවරයා පවසා සිටියා.

තවද, මේ සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාමාර්ග දැනට සිදුවෙමින් පවතින අතර ඒවා ළඟදීම අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes