General26 July 2026

බීමතින් රිය පදවා තරුණියන් දෙදෙනෙක් හැප්පූ පොලිස් ලොක්කා මීගොඩදී අත්අඩංගුවට

බීමතින් මෝටර් රියක් පදවා යතුරුපැදියක ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනක් අනතුරට ලක් කළැයි කියන සිද්ධියකට අදාලව හෝමාගම කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්.

මෙම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ පසුපැදිකාරිය මේ වන විට හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි පොලිසිය පැවසුවේ.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා අද (26) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිට ඇති මෙම සැකකාර ‍ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීගොඩ වටරැක 20 කණුව ආසන්නයේදී ඊයේ (25) රාත්‍රී 11.30ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනකු හප්පා මෙම අනතුර සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

පසුව මීගොඩ පොලිසිය විසින් සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදු කළ පරීක්ෂාවකදී ඔහු බීමතින් සිට ඇති බවට හෙළිව ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes