International02 August 2026

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන ෆෙරි යාත්‍රාවක දැවැන්ත ගින්නක්: 5 දෙනෙකු ජීවිතක්ෂයට, 41ක් අතුරුදහන්!

ඉන්දුනීසියාවේ මගීන් 250 කට අධික සංඛ්‍යාවක් රැගත් 'KMP Mutiara Sentosa 2' නමැති මගී ප්‍රවාහන ෆෙරි යාත්‍රාවක හදිසියේ හටගත් දැවැන්ත ගින්නකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 41 දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන සුරබායා (Surabaya) සිට දකුණු සුලවේසි හි මකසාර් (Makassar) බලා යාත්‍රා කරමින් තිබියදී මධුරා (Madura) දූපත ආසන්න මුහුදේදී මෙම අනතුර සිදුව ඇත්තේ.

ඉන්දුනීසියානු සෙවීම් සහ මුදවා ගැනීමේ නියෝජිතායතනය (Basaas) සඳහන් කරන පරිදි, යාත්‍රාවේ ගින්න හටගෙන ඇත්තේ උදෑසන කාලයේදීයි.

කෙටි වේලාවක් ඇතුළත සමස්ත යාත්‍රාවම පාහේ ගිනි ජාලාවලින් සහ දුමෙන් වැසී ගොස් ඇති අතර, භීතියට පත් වූ මගීන් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා යාත්‍රාවේ ඉදිරිපස කොටසට සහ පාලම් පුවරුව (bridge) වෙත රැස්වී තිබෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේ ලබාගත් දර්ශනවලට අනුව ඇතැම් මගීන් ජීවිත ආරක්ෂක කබා (life jackets) පැළඳ මුහුදට පැන ඇති අතර, පසුව එම ස්ථානයට පැමිණි මුදවා ගැනීමේ නෞකා මගින් ඔවුන් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට ඉන්දුනීසියානු සෙවුම් හා මුදවා ගැනීමේ කණ්ඩායම් විසින් අතුරුදහන් වූ 41 දෙනා සෙවීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ගින්න හටගැනීමට හේතුව පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes