General12 August 2026

කුරුවිට බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් දෙදෙනා මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්: පශ්චාත් මරණ පරීක්ෂණය

කුරුවිට බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ නොසන්සුතාවය අතරතුර මිය ගිය රැඳවියන් දෙදෙනාගේ මරණයට හේතුව වෙඩි වැදීමෙන් සිදු වූ බරපතල තුවාල බව අනාවරණය වී තිබෙනවා.

ඒ රත්නපුර මහ රෝහලේ පෙරේදා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.

ඒ අනුව එක් රැඳවියෙකු හිසට වෙඩි වැදීමෙන් සහ අනෙක් රැඳවියා පපුවට වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බවයි රත්නපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.

පසුගිය සිකුරාදා ඇති වූ මෙම නොසන්සුතාවයෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලැබුවා.

මෙහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා කදුළු ගෑස් ප්‍රහාරයක් සහ වෙඩි තැබීමක් ද සිදු කළ බවයි විෂය භාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කියා සිටියේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරළි මර්දන ඒකකය, යුධ හමුදාව ද කැඳවීමට සිදු වුණා.

මීට පෙර මීගමුව, මහර, නව මැගසින් සහ පල්ලන්සේන බන්ධනාගාර තුළ ද නොසන්සුන්තාවයන් හටගත් අතර, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 17 දෙනෙකු මියගියා.

මහර සහ නව මැගසින් බන්ධනාරවල ඇති වූ නොසන්සුන්තාවයන්ගෙන් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන් සංඛ්‍යාව දෙකක්.
Related recommendation
Hiru TV News | Programmes