General12 August 2026

විදෙස්ගත කුඩු ජාවාරමකුගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමග හෝමාගම දී අත්අඩංගුවට

විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'ගගන' නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයා රුපියල් කෝටි ගණනක් වටිනා මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් සමග ඊයේ (11) හෝමාගමදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ III හි නිලධාරීන්ට ලද නිශ්චිත බුද්ධි තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

හෝමාගම පොලිස් බල ප්‍රදේශයට අයත් හයිලෙවල් මාර්ගයේ කැන්දලන්ද ප්‍රදේශයේදී සැකකරු කොටුකර ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායම සමත් වී තිබෙනවා.

එහිදී සිදුකළ දැඩි සෝදිසියේදී සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 මිලිග්‍රෑම් 59ක් සහ මත්පෙති 800ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 44ක් වන හෝමාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔහු කලක පටන් විදේශගතව සැඟවී සිටින 'ගගන' නැමැත්තාගේ සෘජු උපදෙස් මත මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර නීතිමය විමර්ශන කටයුතු සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවටයි සඳහන් වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes