General13 August 2026

විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93 ක් ගෙන්වාගැනීමට රතු නිවේදන

විදෙස් රටවල සැඟව සිටින මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ රටම එකට ජාතික මෙහෙයුමට අදාළව ත්‍රිවිධ හමුදාවල හා පොලිසියේ දායකත්වය හා ප්‍රගතිය පිළිබද දැනුවත් කිරීම සඳහා කොළඹ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පසුගිය කාලසීමාව තුළ පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ ඒවා විනාශ කිරීම සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කළා.

ඒ අනුව, 2025 ඔක්තෝබර් 30 වන දින සිට ඊයේ දක්වා කාලය තුළ, හෙරොයින්: කිලෝග්‍රෑම් 2,259 යි ග්‍රෑම් 129 ක්, අයිස් (Ice): කිලෝග්‍රෑම් 2,653 යි ග්‍රෑම් 545 ක්, කොකේන්: කිලෝග්‍රෑම් 293 යි ග්‍රෑම් 755 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, අධිකරණමය ක්‍රියාමාර්ග සහ නෛතික කටයුතු අවසන් වීමෙන් අනතුරුව, පසුගිය වසර තුනක කාලය (2024, 2025 සහ 2026) තුළ අත්අඩංගුවට ගන්නා ලද විෂ මත්ද්‍රව්‍ය අතුරින් කිලෝග්‍රෑම් 4,652 යි ග්‍රෑම් 857 ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පියවර ගෙන ඇති බවද සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes