General13 August 2026

උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි: ප්‍රශ්න පත්‍ර පිටවීමක් නෑ - විභාග කොමසාරිස් ජනරාල්

මේ දිනවල පැවැත්වෙන 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රශ්න පත්‍ර කිසිදු ආකාරයකින් පිටවීමක් සිදුව නොමැති බවත්, හෙට (14) දිනයේ විභාගය සැලසුම් කළ පරිදි සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පවසනවා.

අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාපාර අධ්‍යයනය, සංගීතය, නර්තනය සහ කෘෂි විද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර බහාලුම් පරීක්ෂා කිරීමේදී, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට මහා විද්‍යාලයේ පිහිටි අංක 323 දරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී, මධ්‍යස්ථාන 6 කට අදාළව පැමිණි ප්‍රශ්න පත්‍ර බහාලුම් තුළ, ඊට පරිබාහිරව හෙට (14) පැවැත්වීමට නියමිතව තිබූ 'භෞතික විද්‍යාව I' (Physics I) ප්‍රශ්න පත්‍ර පැකට් 6 ක් තිබී හමුවීමේ සිදුවීමක් වාර්තා වුණා.

කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න පත්‍ර තොගය හමුවී ඇත්තේ විභාග ශාලා වෙත බෙදාහැරීමේ මූලික අදියරේදීම බැවින් එමගින් ප්‍රශ්න පත්‍රය කිසිදු ලෙසකින් පිටතට නිරාවරණය වීමක් සිදුව නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය තහවුරු කරනු ලැබුවේ.

එබැවින් ප්‍රශ්න පත්‍ර පිටවූ බවට පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී, සියලුම විභාග අපේක්ෂකයින්ට බියෙන් හෝ සැකයෙන් තොරව හෙට දිනයේ විභාගයට මුහුණ දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළ අතර, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes