General17 August 2026

ගතවූ දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට

දිවයිනේ විවිධ ප්‍රදේශවල ගත වූ ඊයේ (16) දිනයේදී සිදුවූ රිය අනතුරු තුනකින් යතුරුපැදි පැදිකරුවන් සිව් දෙනකු සහ කුඩා දරුවෙකු, ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

කල්පිටිය පොලිස් වසමේ කන්දකුලිය, කල්පිටිය අතුරු කුඩාව ප්‍රදේශයේදී කල්පිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එහි ගමන් ගත් කුඩා දරුවෙක් කල්පිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 06ක් සහ 40ක් වන කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

වෙන්නප්පුව පොලිස් වසමේ කොළඹ - පුත්තලම මාර්ගයේ ලුණුවිල හන්දිය අසලදී ඊයේ (16දා) රාත්‍රියේ සිදුවූ තවත් අනතුරකින් පාපැදිකරුවෙක් මියගොස් තිබෙනවා. මාර්ගය හරහා ගමන් කළ පාපැදිකරුවෙකු පුත්තලම දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මාරවිල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර, මරණකරු අවුරුදු 55ත් 60ත් අතර වයසේ පසුවන අයෙකු වුවද ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

මේ අතර, මාදම්පේ නගරයේදී ඊයේ (16දා) රාත්‍රියේ සිදුවූ තවත් රිය අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුකර ඇත්ත් වෑන් රථ රියැදුරෙක් බවට හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මාදම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මරණකරු අවුරුදු 62ක් වූ මඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් පසු පලා ගිය වෑන් රථයේ රියැදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.
Related recommendation
Hiru TV News | Programmes