General18 August 2026

ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව

අඟුලාන ඇලපාත මුහුදු තීරයේදී ආපදාවට ලක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් පී 4447 (P 4447) වේග ප්‍රහාරක යාත්‍රාවේ සිටි නාවික හමුදා සාමාජිකයන් 11 දෙනෙකුගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ ප්‍රදේශවාසී සිවිල් වැසියන් 14 දෙනෙකු ඇගයීමට නාවික හමුදාව පියවර ගත්තා.

ඉකුත් (15) වැනිදා පැවති රළු මුහුදු තත්ත්වය හමුවේ සිදුවූ මෙම අනතුරේදී, සිය ජීවිත අවදානම පවා නොතකා ක්ෂණිකව මැදිහත් වෙමින් නාවිකයන්ගේ ජීවිත බේරාගැනීමට මෙම පිරිස කටයුතු කර තිබුණා.

ඔවුන්ගේ එම උදාර මානුෂීය ක්‍රියාකලාපය අගය කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (18) බටහිර නාවික විධාන මූලස්ථානයේදී අදාළ සිවිල් වැසියන් වෙත ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කළා.

මෙම අවස්ථාවට බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්න කුමාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes