International20 August 2026

එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි

ඉරාන භූමියේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) දෙසට බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වීමට ප්‍රතිචාර වශයෙන්, ඉරානය සමඟ පවතින සියලුම වෙළඳ, වාණිජ සහ මූල්‍ය ගනුදෙනු “තවදුරටත් දැනුම් දෙන තුරු” අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබෙනවා.

සමුද්‍ර ගමනාගමනය ඉලක්ක කරගනිමින් එල්ල වූ බවට විශ්වාස කෙරෙන මෙම මිසයිල ප්‍රහාර දෙකම මුහුදට පතිත වී ඇති අතර, එකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භෞමික ජල සීමාව තුළටත් අනෙක ඊට පිටතටත් වැටී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා.

පසුගිය මැයි මාසයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍ය භූමිය ආශ්‍රිතව වාර්තා වූ පළමු මිසයිල සිද්ධිය මෙය වන අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ අබු දාබි ජාතික තෙල් සමාගමේ (ADNOC) නෞකා කිහිපයකට ද ඉලක්කගත ප්‍රහාර එල්ල වී ඇති බවට UAE චෝදනා කරනවා.

ඉරානයේ වාර්ෂික ආනයනයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් සපයන ඩුබායි නගරය, ජාත්‍යන්තර සම්බාධක හමුවේ ඉරානයේ ප්‍රධානතම ආර්ථික ජීවන මාර්ගය ලෙස පැවති අතර, මෙම වෙළෙඳ තහනම අමෙරිකානු සම්බාධකවලටත් වඩා ප්‍රබල පහරක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසනවා.

කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයීල් බගායි (Esmaeil Baghaei) මෙම මිසයිල චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා "පදනම් විරහිත" සහ අසල්වැසි සබඳතාවලට හානි පමුණුවන ප්‍රකාශ ලෙස හඳුන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙය ඉරානය පිට වරද පැටවීම සඳහා සිදුකළ ව්‍යාජ මෙහෙයුමක් (false-flag operation) විය හැකි බවටද ඉරාන පාර්ශ්වයෙන් ඉඟි පළවෙනවා.

එක්සත් ජනපද - ඉරාන සාම සාකච්ඡා සඳහා ලබාදී තිබූ දින 60ක කාලසීමාව අවසන් වීමත් සමඟම සිදු වූ මෙම සිදුවීමත් සමඟ, ගල්ෆ් කලාපයේ ආර්ථික හා ආරක්ෂක ආතතීන් මෙන්ම ගෝලීය තෙල් වෙළෙඳපොළේ නොසන්සුන්තාවද නැවතත් දැඩි ලෙස ඉහළ ගොස් තිබෙන බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes