General21 August 2026

දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එසේම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු - මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes