General30 August 2026

අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට: පාන් මිලේ තීරණය හෙට

තිරිගු පිටි මිල ඉහළ නැංවීමට සමගාමීව කෙටි ආහාර මිල රුපියල් 5 කින් අද (30) සිට ඉහළ නංවන බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළා.

ඒ අනුව පරාටා, බිත්තර රොටි, එළවළු රොටි, රෝල්ස්, පැටිස් ඇතුළු කෙටි ආහාර මිල මෙලෙස රුපියල් 5 කින් ඉහළ යනු ඇති.

ඉඳි ආප්ප මිල ද රුපියලකින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, තිරිගු පිටි මිල ඉහළ දැමීමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේදී මාධ්‍ය වෙත දැනුම් දෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන කියා සිටියා.

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම්, තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17කින් ඉහළ දමනු ලැබුවා.

එම සමාගමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, මැදපෙරදිග යුධමය වාතාවරණය ආරම්භ වූ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා නෞකා සහ රක්ෂණ ගාස්තු මෙන්ම ධාන්‍ය මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා මෙලෙස මිල ඉහළ නැංවූ බවයි.
Related recommendation
Hiru TV News | Programmes