General06 September 2026

සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි

උතුම් සේරුවිල මංගල මහා සෑ රජුන් උදෙසා සිදුකෙරෙන පූජෝපහාරයක් ලෙස පැවැත්වෙන ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර ඊයේ (05) දින රාත්‍රියේ වීථි සංචාරය කළා.

මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා නායක, දෙවිනුවර ශ්‍රී පරම විචිත්‍රාරාම රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය දෙවිනුවර සිරි සුනන්ධාභිදාන මහානායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පෙරහර සමාරම්භක උළෙල පැවැත්වුණා.

සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍යපාද අළුදෙණියේ සුබෝධි නාහිමිපාණන්වහන්සේගේ මෙහෙයවීමෙන් පෙරහරේ කටයුතු සංවිධාන කර තිබූ අතර, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, සේරුවිල ශ්‍රී ලලාට ධාතු පෙරහර කමිටුවේ සම සභාපති සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර ඇතුළු ආරාධිත පිරිසක් ද පෙරහරට එක්ව සිටියා.

සදාතුක කරඬුව සැදැහැයෙන් වැඩම කරවීමත් සමඟ පෙරහරේ කටයුතු ආරම්භ කෙරුණු අතර, එම කටයුතු සිදුකරනු ලැබුවේ සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍යපාද අළුදෙණියේ සුබෝධි නාහිමිපාණන්වහන්සේ විසින්.

මෙවර සේරුවිල ශ්‍රී ලලාට ධාතු පෙරහැරේ සදාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ මියන්රාජා මංගල හස්ති රාජයා විසින්.
Related recommendation
Hiru TV News | Programmes