Business10 July 2026

සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්

දැනට පවතින යුද වාතාවරණය හේතුවෙන් ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටී ඇති යුක්‍රේනයට පසුව ලොව ඉහළම අක්‍රීය ණය (NPL) අනුපාතය සහිත රට බවට බංග්ලාදේශය පත්ව තිබෙනවා.

නවතම දත්තවලට අනුව එරට සමස්ත බැංකු ණය ප්‍රමාණයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පැහැර හැර ඇති (Defaulted) ණය ලෙසයි වර්ගීකරණය කර ඇත්තේ.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) රටවල් අතරින් ද ඉහළම අක්‍රීය ණය අනුපාතය වාර්තා කරන්නේ බංග්ලාදේශයයි.

දුර්වල ණය විනය, දේශපාලන බලපෑම් මත ණය ලබා දීම සහ ණය අයකර ගැනීමේ පවතින දැඩි දුර්වලතා මීට ප්‍රධාන හේතු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

නවතම බැංකු දත්තවලට අනුව, යුද විනාශය හමුවේ ආර්ථිකය කඩා වැටුණු යුක්‍රේනය 37.35% ක අක්‍රීය ණය අනුපාතයක් සමඟ ලෝක ලැයිස්තුවේ පෙරමුණේ පසුවෙනවා.

බංග්ලාදේශය 32.26% ක අනුපාතයක් සමඟ දෙවැනි ස්ථානයේ පසුවන අතර, චැඩ් රාජ්‍යය (31.51%) සහ ගිනියා රාජ්‍යය (31.15%) ඊට පිටුපසින් පසුවෙනවා.

රාජ්‍ය බැංකුවල පවතින මෙම අක්‍රීය ණය ප්‍රමාණය අවම කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ විශේෂ පුහුණු සැසියක් පසුගිය ඉරිදා පැවැත්වුණා.

මුදල් අංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාව සඳහා එරට සියලුම රාජ්‍ය බැංකුවල කළමනාකාර අධ්‍යක්ෂවරුන් සහභාගී වී සිටියා.

බංග්ලාදේශ මහ බැංකු දත්තවලට අනුව, පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ මාස තුනක කාලය තුළ පමණක් එරට බැංකු ක්ෂේත්‍රයේ අක්‍රීය ණය ප්‍රමාණය ටකා බිලියන 310කින් ඉහළ ගොස් තිබෙනවා.

දකුණු ආසියානු කලාපයේ (SAARC) අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී බංග්ලාදේශයේ බැංකු ක්ෂේත්‍රය පසුවන්නේ ඉතා අවදානම් සහගත මට්ටමකයි.

එහි අක්‍රීය ණය අනුපාතය කලාපයේ අසල්වැසි රටවලට වඩා 6 ගුණයක සිට 15 ගුණයක් දක්වා ඉහළ අගයක් ගන්නවා.
Related recommendation
Hiru TV News | Programmes