Entertainment01 May 2026

නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී බාරදුන් ඔස්කාර් සම්මානය ජර්මනියේදී අතුරුදන් : සම්මානය සොයා විමර්ශන ඇරඹේ

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් රුසියානු ජාතික පාවෙල් තලන්කින්ගේ (Pavel Talankin) ඔස්කාර් සම්මානය නිව්යෝර්ක් ගුවන් තොටුපොළකදී අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී, තලන්කින් සිය 'Mr Nobody Against Putin' වාර්තා චිත්‍රපටයට ලැබුණු ඔස්කාර් රන් සම්මානය සිය අත් බෑගයේ (Carry-on bag) තබාගෙන නිව්යෝර්ක් හි ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ජර්මනිය බලා යාමට පැමිණ තිබෙනවා.

එහිදී ආරක්ෂක අංශ (TSA) පවසා ඇත්තේ මෙම සම්මානය ආයුධයක් ලෙස භාවිත කළ හැකි බැවින් එය අත් බෑගයේ රැගෙන යා නොහැකි බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඔහු සතුව වෙනත් ගමන් මලු (Checked bag) නොතිබූ බැවින්, ලුෆ්තන්සා (Lufthansa) ගුවන් සමාගමේ නිලධාරීන් මැදිහත් වී සම්මානය පෙට්ටියක බහා වෙනම ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ඔහු ජර්මනියට ළඟා වන විට එම සම්මානය අතුරුදන් වී තිබූ බව තලන්කින් පවසන බවයි බීබීසී පුවත් සේවය සඳහන් කරන්නේ.

ලුෆ්තන්සා ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව තමන් කණගාටු වන බවත්, සම්මානය සොයා ගැනීම සඳහා පුළුල් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මෙම වාර්තා චිත්‍රපටයේ විධායක නිෂ්පාදක රොබින් හෙස්මන් පවසන්නේ, තලන්කින් මීට පෙර කිහිප වතාවක්ම සිය ඔස්කාර් සහ බාෆ්ටා (BAFTA) සම්මාන අත් බෑගයේ තබාගෙන ගමන් කර ඇති බවත්, මෙවැනි ගැටලුවකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි.

පාවෙල් තලන්කින් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම වාර්තා චිත්‍රපටය මගින් රුසියානු පාසල් පද්ධතිය තුළ යුද ප්‍රචාරණය ව්‍යාප්ත වන ආකාරය නිරූපණය කර ඇති බැවින්, රුසියාව තුළ මෙම චිත්‍රපටය තහනම් කර ඇති අතර, තලන්කින් මේ වන විට රුසියාවෙන් පිටුවහල් වී යුරෝපයේ ජීවත් වෙනවා.

අඟල් 13.5ක් උසින් යුත් ඔස්කාර් සම්මානයක් කිලෝග්‍රෑම් 3.9ක පමණ බරකින් යුක්ත වන අතර, එය නිර්මාණය කිරීම සඳහා ඩොලර් 400ත් 1,000ත් අතර පිරිවැයක් දැරීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

මූලාශ්‍රය | බීබීසී
Related recommendation
Hiru TV News | Programmes