Sports08 October 2025

එංගලන්තය පළමු තැනට : කාන්තා ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහන

අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (07) ගුවහාටිහිදී පැවැත්වුණා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛතා පෙළගැස්මෙහි වැදගත් වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

ඊයේ පැවති බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 4 කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කෙලේ එංගලන්තයි.

මෙම තරගයේදී බංග්ලාදේශය ලබා ගත් ලකුණු 178 හඹා ගිය එංගලන්තය, පන්දු 23ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වුණා.

මෙම ප්‍රතිඵලය හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහන වෙනස් වී ඇත්තේ පහත ආකාරයෙන්.

තරග දෙකකට මුහුණ දී එම තරග දෙකම ජය ගත් එංගලන්ත කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින්, ඉහළම ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයක් (NRR 1.757) සමඟින් මේ වන විට සටහනේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වී සිටිනවා.

තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටියද, ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR 1.515) අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවනවා.

වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ තරගයකින් ලද ප්‍රසාද ලකුණත්, ජයග්‍රාහී තරගයකින් ලද ලකුණු 2ත් සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 3ක් ලබා මේ වන විට පසුවන්නේ තෙවන ස්ථානයේයි.

ඊයේ දිනයේ පරාජය වූවද, තරග දෙකක් අවසානයේ එක් ජයග්‍රහණයක් වාර්තා කර ඇති බංග්ලාදේශ කාන්තා කණ්ඩායම තවදුරත් ප්‍රසාද ලකුණු 2ක් ලබා ගනිමින් සිව් වන ස්ථානයේ රඳදීමට සමත්.

දකුණු අප්‍රිකාව ද තරග දෙකකට මුහුණ දී එක් ජයග්‍රහණයක් සමඟ ප්‍රසාද ලකුණු 2ක් ලබා පස් වන ස්ථානයේ රැඳී සිටීමට සමත් වී තිබෙනවා.

වැස්සට සේදී ගිය තරගයකින් ලැබුණු එකම ප්‍රසාද ලකුණත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 2ක් අවසානයේ ප්‍රසාද ලකුණු 1ක් ලබා ගෙන හය වන ස්ථානයේ රැඳී සිටිනවා

නවසීලන්තය සහ පාකිස්ථානය කණ්ඩායම් තවමත් තරග දෙකම පරාජය වී, ජයග්‍රහණයක් වාර්තා කර නැති අතර, පිළිවෙළින් ප්‍රසාද ලකුණු නොලබා හත් වන සහ අට වන ස්ථානවල පසු වනවා.
Related Recomands
Hiru TV News | Programmes