Sports05 July 2026

දෙවන දිනය නිමාවන විට කොදෙව් කඩුල්ලක් දැවී ලකුණු 58යි

ඇන්ටිගුවා හි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වන විට, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 549 ක දැවැන්ත අභියෝගයට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 24කදී කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබා සිටිනවා.

ඒ අනුව, කොදෙව් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 491ක් පිටුපසින් පසුවෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ආරම්භ කළ ජෝන් කැම්බල් සහ බ්‍රැන්ඩන් කින්ග් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සබඳතාවක් ගොඩනැගුවා.

පන්දු 26කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා සිටි බ්‍රැන්ඩන් කින්ග්, අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කමිඳු මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබා දෙමින් ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, ආරම්භක පිතිකරු ජෝන් කැම්බල් පන්දු 77කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා නොදැවී ක්‍රීඩා කරනවා.

ඔහු සමඟින් කවේම් හෝජ් ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes