General06 December 2015

තාජුඩීන් ඝාතන සිද්ධියේ CCTV දර්ශනවල ප්‍රභූ පවුලක පුද්ගලයන්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ CCTV  දර්ශන ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

මේ වන විට රහස් පොලීසිය භාරයේ පවතින එම දර්ශන ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. එම CCTV දර්ශනවල ප්‍රභූ පුද්ගලයන් ද සිටින බව තමන්ට තොරතුරු වාර්තා වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියා.

වසීම් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් බවට මීට පෙර කරුණු වාර්තා වුණත් පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයේදී අනාවරණ වුණේ එය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් නොව මිනී මැරුමක් බවයි.

මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මේ බව තහවුරු කරගෙන ඇති අතර එහි අවසන් පරීක්ෂණ වාර්තාව එදින අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

2012 වසරේ මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිලිස්සී වසීම් තාජුඩීන් මියගොස් තිබුණා.

පසුගිය දා අධිකරණයට ඉදිරිපත් වූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සිදුකළ පරීක්ෂණයේ අවසන් වාර්තාවට අනුව හෙලිවී ඇත්තේ තාජුඩීන්ට පහර දී දුර්වල කොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බවයි.

Related recommendation
Hiru TV News | Programmes